වර්ගවාදයට මම මුල ඉඳලම විරුද්ධයි. ඒ සම්බන්ධයෙන් මම සිනමා නිර්මාණ කිහිපයක්ම කළා. සරෝජා, පුංචි සුරංගනාවී, සුනාමි, කපුටු කොහෝ
සිනමාපටයෙනුත් මට කියන්න ඕනෙ ඒ කාරණාවම තමයි. කපුටු කූඩුවේ කොහා බිත්තර දැම්මාට, හතර දෙනාම හැදෙන්නෙ එකට.
සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනය, ගේය පද රචනය, සහ අධ්‍යක්ෂණය කළ නවතම සංගීතමය වේදිකා හා සිනමා පර්යේෂණාත්මක නිර්මාණය ‘කපුටු කොහෝ’ ය. මෙය ඊයේ (27) වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹිණි. සහෝදරත්වය ජාතික සමගිය හා සහජීවනය මූලික කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය ජන සංගීත නාද රටා, දේශීය නර්තන රටාවලින් සමන්විතය. එබැවින් අපේ මේ සාකච්ඡා සටහන වෙන් වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ටය.
ඔබ මෙවන් ආකාරයේ පර්යේෂණාත්මක සිනමා ගෙත්තමක් කරන්නේ ඇයි?
මම වේදිකාවෙන් පටන් ගත්තු කෙනෙක්. ඒ නිසා වේදිකාව ගැන මට විශේෂ ඇල්මක්, ආසාවක් අත්දැකීමක් හා ළැදියාවක් තියෙනවා. ඒ වගේම 1990දී මගේ අධ්‍යයන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවේදී එක විෂයක් විදිහට ගත්තේ වෙනත් කලා මාධ්‍යයන්, සිනමාවට මිශ්‍ර කිරීම කියන එක ගැනයි. මේ විෂයය ආශ්‍රිත නිර්මාණ මම විදේශ රටවලදී දැකලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ සිනමාවට මෙය අලුත් අත්දැකීමක්. ඒ නිසා මම මෙය පර්යේෂණාත්මක
අත්හදා බැලීමක් විදිහට කරන්න හිතුවා. වේදිකා නාට්‍යයක් සිනමා තිරයට ගේන්නේ කොහොමද කියන එක මම අත්හදා බැලීමක් විදිහටයි කරන්නේ.
කපුටු කොහෝ එකම දර්ශන තලයක රූගත කෙරෙන්නක්. ඒ නිසා මෙය එතරම් අපහසු කාර්යයක් නොවන්න ඇති නේද?
රූගත කිරීම් අතින් ඇත්තෙන්ම පහසුයි. විවිධ දර්ශන තලවලට යන්නෙ නැතිවීම නිසා ඒ පහසුව තියෙනවා. හැබැයි ඒක එහෙම වුණා කියලා අනිත් ඒවට වැඩිය අභියෝග තියෙනවා. මොකද අපට නිදහසේ ස්වාභාවික අයුරින් රූගත කරන ඒවා වේදිකාවට උචිත අයුරින් නිර්මාණය කිරීමේදී අපි ප්‍රවේශම් විය යුතු තැන් තියෙනවා. වේදිකාවේ ගුණාත්මකභාවයත් රැකගත යුතුයි. වේදිකා නාට්‍යයක් සිනමා තිරයක් මතට ගේනකොට සිනමා කෘතියක් විදියට ඉදිරිපත් කරන්නත් ඕනෑ. මේ දෙකේ සම්මිශ්‍රණයක් තියෙන්නේ. එනිසා ඒක සමබර කර ගැනීම එක්තරා විදියකට අභියෝගයක්.
කපුටු කොහෝ සංගීතය ඉතා සුවිශේෂයි. ඒ ගැන ඔබට යම් අදහසක් ඇති?
මේක සංගීතමය, නාට්‍යමය සිනමාපටයක්. මෙහි ගීත 26ක් තියෙනවා. මං හිතන්නේ මේක ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ වැඩිම ගීත ඇතුළත් චිත්‍රපටය බවට පත්වෙනවා කියලා. ගීත රචනා සියල්ලම මගේ. දේශීය නාද රටා ආශ්‍රිතව සංගීත අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සමන් පනාපිටිය. චන්දන වික්‍රමසිංහ නර්තන දායකත්වය සැපයුවා. සංගීතයත් නර්තනයත් මේ සිනමාපටයට ලොකු ආලෝකයක් වුණා.
මේ සිනමා නිර්මාණයේදී වර්ණ ගැන ඔබ සැලකිලිමත් වූයේද? අපි මේක සූදානම් කළේ, වේදිකාවට ගැළපෙන ආකාරයටයි. සාමාන්‍ය ආලෝකය භාවිත කරන්න සාමාන්‍ය එළිමහන් දර්ශන නෑනේ. වේදිකා දර්ශනයක් නිසා හිතාමතාම වේදිකාවට ගැළපෙන ආකාරයට ආලෝකය අපි පිළියෙල කර ගත්තා.
වත්මන් සමාජයට ඔබ මෙයින් ලොකු පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා?
ඒ කාරණාව තමයි මගේ ප්‍රධාන ඉලක්කය. ඒ වගේම මේක අත්හදා බැලීමක්. මේකේ වේදිකාව හා සිනමාව සම්මිශ්‍රයි. තාක්ෂණික රටාව එහෙම වුණාට, මේ කතාවේ ප්‍රකාශනය තමයි, ජනවාර්ගික අර්බුදය. ජාතිය, ආගම, භාෂාව, සංස්කෘතිය හා දේශපාලනය කියන මේ බෙදීම් නිසා මිනිස්සු ඇනකොටා ගන්නවා. ඒ වගේම මිනී මරා ගන්නවා. අපි එක තැනක, මහ පොළොවේ ඉපදුණා නම්, ස්වභාවදහම අපට එක විදිහට සලකනවා නම්, අපට එකට ජීවත් වෙන්න බැරි ඇයි කියන එක තමයි මගේ තර්කයත්. ජාතිය ආගම භාෂාව සහ දේශපාලනය කියන්නේ අපි හදාගත්ත දේවල්. අපි ඒවා එනකොට අරගෙන ආවේ නෑ. මේවා නිසා වැඩිහිටියෝ ඇනකොට ගන්නවා විතරක් නෙවෙයි, ළමයින්ටත් පුරුදු කරනවා. මේක නවත්තන්න ඕනෑ. මේ වර්ග වාදයට මම මුල ඉඳලම විරුද්ධයි. ඒ සම්බන්ධයෙන් මම සිනමා නිර්මාණ කිහිපයක්ම කළා. සරෝජා, පුංචි සුරංගනාවී, සුනාමි, කපුටු කොහෝ සිනමාපටයෙනුත් මට කියන්න ඕනෙ ඒ කාරණාවම තමයි. කපුටු කූඩුවේ කොහා බිත්තර දැම්මාට, හතර දෙනාම හැදෙන්නෙ එකට. උන් දන්නෙ නෑ, උන් මොන ජාතියේද මොන භාෂාවද මොන සංස්කෘතියටද අයිති කියලා. උන් කියන්නෙ අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ ජාතිවාද භාෂා ප්‍රශ්නය අපිට වැඩක් නැහැ. අපි හැදුණේ එකට. අපි සහෝදර සහෝදරියෝ. ඒ නිසා අපිට එකට ඉන්න ඕනෑ කියලයි. ඒක තමා තර්කය. ඒක තමා අපේ රටේ ළමා පරපුරේ හඬ විය යුත්තේත්.
කපුටු කොහෝ ඔබේ පර්යේෂණාත්මක සිනමා නිර්මාණය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් කුමන ආකාරයට භාර ගනීවිද කියා ඔබට දිය හැකි තක්සේරුව කුමක්ද?
මටත් පොඩි අවිනිශ්චිතභාවයක් තිබුණා. මොකද මේක පර්යේෂණයක් නිසා. මේක මොන විදිහට ප්‍රේක්ෂකයන් විඳීවිද කියන කාරණය ගැන. ඒ වුණාට අපි පූර්ව දර්ශන කිහිපයක් පැවැත්වුවා. ඒකෙන් ලැබුණු ප්‍රතිචාර අනුව මේක ඉතාම සාර්ථකව ග්‍රහණය කරගෙන තියෙනවා කියන එක පැහැදිලියි. අපට අවශ්‍ය වන්නෙත් නිර්මාණය මුල ඉඳලා අවධානයකින් බලාගෙන ඉඳලා ඒක රස විඳිනවා නම්. ඒක තමයි අපේ පළවෙනි ඉලක්කය. රස විඳිනවා විඳිනවා නම් අපි දෙන පණිවිඩයත් හොඳට ජීර්ණය වෙනවා. මම හිතනවා ඒ කාරණාව නිරායාසයෙන්ම සිදු වෙනවා කියලා.
ඔබ හැමදාමත් වගේ නවකයන් නියෝජනය කරන නව පරපුර ඉදිරියට ගෙනාවා. මේකත් ඒ වගේ එකක්?
මෙහි වැඩිහිටි චරිත 04යි, ළමා චරිත 04යි. අභිලාෂි සන්තුෂ්කි සහ අමන්දා උත්පලී දෙන දායකත්වය ප්‍රබලයි. ඒ වගේම හර්ෂණ දිසානායකත් සංගීත ආචාර්යවරෙයක් වන ඩිලාන් වික්‍රමසිංහත් හොඳ සහයෝගයක් ලබා දෙනවා. මේ අයගේ ගායන හා රංගන හැකියාවන් මම හොඳාකාරවම දන්න නිසයි මේ අයව යොදා ගත්තේ. දරුවන් ගත්තම සහේලි තූර්යා. මෙයා ලිටල් ස්ටාර් දරුවෙක්. රදීන් රන්දිව්, මෙයා ලිට්ල් ස්ටාර් නර්තන දරුවෙක්. ඒ වගේම සනුලි දුල්සේයා, රුසිරු විදුනිත මේ අයව මම වැඩමුළු තියලා සුදුසුම අය විදිහට තෝරාගෙන තමයි නිර්මාණයට ගත්තේ. ඔවුන්ගේ දායකත්වය ඉතාම සාර්ථකව ලැබුණා කියලා මම හිතනවා.
රේණුකා බාලසූරිය සහ විශ්වා බාලසූරියගේ දායකත්ව භූමිකාවන් ගැන ඔබට කුමක් කිව හැකිද?
රේණු කවදත් මගේ නිර්මාණයේ කළමනාකරණ සහ සංවිධාන කටයුතු කරන නිසා තමයි මම නිවීහැනහිල්ලේ මගේ අනෙක් වැඩ කටයුතු කරගන්නේ. ඒ කාරණා ඉතා සාර්ථකව එයා කරනවා. ඒක ලොකු දායකත්වයක්. ඒ වගේම විශ්වා මගේ පසුගිය චිත්‍රපට කිහිපයේම කැමරා අධ්‍යක්ෂණ කටයුතු කළා. ඔහු ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වූ අයෙක්. මේ චිත්‍රපටය ඔහුටත් අභියෝගයක් වුණා, කොහොමද වේදිකාව රූගත කරන්නේ සිනමාවට කියන එක ගැන. කෙසේ වෙතත් අපි එකඟතාවයකින් පසුව අවශ්‍ය රූප රාමු හා ආලෝක රටා තෝරා ගත්තා.
ඔබේ නිර්මාණ කණ්ඩායම මතක් කරමු…
මගේ නිර්මාණ කණ්ඩායමේ පිරිස තමයි මගේ වැඩවලට දායක කරගන්නේ. සහාය අධ්‍යක්ෂණය චාමර සේලාර. සංස්කරණය අජිත් රාමනායක. වේශ නිරූපණය විදුර අබේධීර, කලා අධ්‍යක්ෂණය ජානක ප්‍රසාද්. වර්ණ සංකලනය ආනන්ද බණ්ඩාර. ශබ්ද සංකලනය සසික රුවන් මාරසිංහ. මේ සියලු දෙනා මගේ පෙර නිර්මාණවලට දායක වුණු අයයි. මේ සියලු දෙනාම තම තමන්ගේ කාර්යන් ඉතාම ඉහළින් වගේම උපරිමයෙන් කරලා තියෙනවා.
ශ්‍යාමා සමරසිංහ