Home » වැලිගම W15 හෝටලයේ සිද්ධිය

වැලිගම W15 හෝටලයේ සිද්ධිය

-ටිරාන්ගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

by sachintha
April 1, 2025 4:01 pm 0 comment

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිගමට ගොස් W15 හෝටලය ඉදිරිපිට දී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 06කට ආසන්න කාලයක් ඊයේ (31) දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද දැනුම් දීමකට අනුව ඒ මහතා ඊයේ (31) පෙරවරුවේ එහි පැමිණ තිබිණි.

එහිදී W15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීම හා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය ප්‍රශ්න කර ඇත. W15 හෝටලය සම්බන්ධයෙන් ටිරාන් අලස් මහතා විසින් එම මාධ්‍ය හමුවේදී මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් ප්‍රශ්න කිරීම් සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

ප්‍රශ්න කිරීම් හමුවේ ටිරාන් අලස් මහතා විසින් ලබාදුන් ප්‍රකාශවලින් අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින් වැඩිදුර විමර්ශනයක් සිදුවන බවත් අවශ්‍ය වුවහොත් නැවත ප්‍රශ්න කිරිමක් සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT