Home » මහ නඩුවේ අවනඩුව

මහ නඩුවේ අවනඩුව

by mahesh
April 2, 2025 4:00 pm 0 comment

චන්දන ජයවීර
1970 මුල්ව­රට සිර­ග­තව සිට නිද­හස් වීමෙන් පසු සැප්තැ­ම්බර් 20 දින බොරැල්ලේ ප්‍රජා මණ්ඩ­ල­යේදී මාධ්‍ය හමු­වක් අම­තන රෝහණ විජේ­වීර. (ඉදි­රි­පෙළ වමේ සිට) කොට­වල දේව­සිරි, මොර­වක භද්දිය, මහින්ද විජේ­සේ­කර, රෝහණ, සෝම­සිරි කුමා­නා­යක හා ඩබ්.ටී. සිසි­ල්චන්ද්‍ර. (පසු­පෙළ වමේ සිට) ලක්‍ෂ්මන් සී. ප්‍රනාන්දු (කළු ලකී), ලක්ෂ්මන් මුණ­සිංහ (පොඩි ලකී) සහ ඔස්මන්ඩ් ද සිල්වා

අපේ අධිකරණ පද්ධතියේ හා දේශපාලන ලෝකය තුළ මහ නඩුව යනුවෙන් හැඳින්වෙන්නේ එක් නඩුවක් ගැන පමණය. ඒ 71 අප්‍රේල් නැඟිටීම පිළිබඳ පැවැති නඩු විභාගයයි.

මේ නඩුවේ චුදිතයන් ගණන 41 දෙනෙකි. 71 අරගලයට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන රෝහණ විජේවීර එහි 13 වැනි විත්තිකරුවා වන විට නඩුවේ 1 වැනි විත්තිකරු ලෙස නම්කර ඇත්තේ එස්.ඒ. පියතිලකය. පියතිලක යනු ජවිපෙ ශිෂ්‍ය අංශයේ ලේකම්වරයා ය. විජේවීර 13 වැනි සැකකරු වීම අහම්බයක් නොවේ.

සමඟි පෙරමුණ ආණ්ඩුවේ අතථ්‍ය නායකයා වූ අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක දේශපාලන සරදමක් ලෙස කැරැල්ලේ නායකයා 13 වැනි විත්තිකරුවා ලෙස කර ඇති බව ගවේෂණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්න පෙන්වා දෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනයට සහභාගී වු පිරිස 13 දෙනෙක්වීම සහ එහි 13 වැනි අසුනේ ජුදාස් හිඳගෙන සිටීම එයට හේතුවයි. ෆිලික්ස් ඇන්ග්ලිකන් කතෝලිකයෙක්වීම නිසා එම පසුබිම අනුව නම්කිරීම සිදුව ඇති බව ඔහු විශ්වාසය පළ කරයි. ඒ ගැන අප කළ වැඩිදුර සොයා බැලීමේදී බයිබලයේ අලුත් ගිවිසුමේ හෙළිදරව්වේ සඳහන් පරිදි 13 අංකය ‘අවනඩුවේ සහ කැරැල්ලේ’ සංකේතය ලෙස භාවිත වන බව අනාවරණය විය.

මහනඩුවේ විත්තිකරුවන් අතර කැරැල්ලේ ප්‍රධාන නායකයන් සියලු දෙනාම සිටිය ද ජවිපෙ ප්‍රධාන නායකයන් නොවන අවශේෂ නායකයන් කිහිපදෙනකු ද විත්තිකරුවෝ අතර සිටිති. මොවුන් නඩුවට ඇතුළුකර ඇත්තේ වෙනත් හේතු මත බව නන්දන වීරරත්න වරක් අප හා කළ සංවාදයකදී පවසා සිටියේය.

“මේක ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හා ඊලියන් වික්‍රමනායක දෙන්නා එකතුවෙලා අටවපු නඩුවක්. මේ නඩුවේ ජවිපෙට කිසිම සම්බන්ධයක් නැති අයත් සිටියා. ෆීලික්ස්ගේ ඥාතියෙක් වන සුසිල් සිරිවර්ධනගේ පවුල සමඟ ඔවුන්ට ඉඩම් හබයක් තිබුණා. සුසිල්ට නඩුවට පටලවා තිබුණේ පක්ෂ අරමුදලට රුපියල් 5ක් දුන්නා කියන චෝදනාවකට”. ඔහු ඒ ගැන විස්තර කළේ ය.

නඩුවේ විත්තිකරුවන් ලෙස ජවිපෙ සාමාජිකයන් නොවන නාගරික ප්‍රභූ පන්තියේ කිහිපදෙනකු සම්බන්ධ කර තිබුණි. එස්.ඩී. බණ්ඩාරනායක සහ විරාජ් ප්‍රනාන්දු ඒ අතර වේ. එස්.ඩී. ශ්‍රීලනිපයේ ආරම්භක සාමාජිකයකු වන අතර චීන හිතවාදි මන්ත්‍රීවරයෙකි. නඩුවට අලංකාර පෙනුමක් දීම සඳහා ඔවුන් පටලවා ඇති බව වික්ටර් අයිවන්ගේ කෘතියක ද වේ. අයිවන් මහ නඩුවේ 7 වැනි විත්තිකරුය.

කැරැල්ලට සම්බන්ධ වූවන්ට දඬුවම් කිරීම සඳහා රජය විශේෂ පනතක් සම්මත කර ගන්නා ලදි. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාව නම් විශේෂිත අධිකරණය 1972 අංක 14 දරණ පනත අනුව බිහිවිය. ෆිලික්ස් නව පනත රාජ්‍ය සභාව ඉදිරියේ සාධාරණීකරණය කළේ මෙසේ ය.

“වර්තමානයේ බලපාන නීතිය යටතේ නඩු පැවරීම අපට කරන්න පුළුවන් එක විදියක්. ඒ අනුව කටයුතු කරන්න ගියොත් තමුන්නාන්සේලාට කවදාවත් එක නඩුවක්වත් ඔප්පු කරන්න විදියක් නැහැ. ඔක්කොම නිදහස් කරන්න වුවමනා නම් ඒ ක්‍රියා මාර්ගය අනුගමනය කළාට වරදක් නැහැ” (1972.04. 4දා හැන්සාඩ් පිටු 107)

අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව පනතට අත්සන යෙදීමෙන් පසු 1972 මැයි 17දා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු 5 දෙනකුගෙන් සමන්විත සාමාජිකයන් නම් කෙරිණි. එච්.එන්.ජී. ප්‍රනාන්දු (සභාපති), ඒ.සී. අලස්, වී.ටී. තමෝදරම්, එච්. දෙහෙරගොඩ, ටී.ඩබ්ලිව්. රාජරත්නම් එම විනිසුරුවරුය. රාජරත්නම් විනිසුරුවරයා රෝගී වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට පසුව ඩබ්ලිව්. විමලරත්න විනිසුරුවරයා පත්විය.

1968 වසරේ ජනවාරි 1 දා සිට 1971 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී කොළඹ, මහනුවර, මාතර හා අන්‍යය ස්ථානවලදී මහරැජිනට විරුද්ධව යුද්ධ කිරීමට කුමන්ත්‍රණය කිරීම, යුද කිරීම, එයට අනුබලදීම, සාපරාධී බලහත්කාරය අත්අඩංගුවට පත්වූවන්ට එරෙහිව නැඟුණු චෝදනාය.

ඔවුන්ට විරුද්ධව මහජන ආරක්ෂක පනතේ 5 වැනි වගන්තිය යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ 6, 8, 16, 17, 114, 115 වැනි වගන්ති යටතේ නඩු පවරා තිබිණි. එම චෝදනා රාජ්‍යයට එරෙහිව කළ වැරදි, මහජන සාමයට එරෙහිව කළ වැරදි, මනුෂ්‍ය ශරීරයට සහ ජීවිතය කෙරෙහි බලපාන වැරැදි, දේපළවලට කළ වැරදි ලෙස සාරාංශ කළ හැකිය. මෙයට අමතරව ගිනි අවි ආඥා පනතේ 182 වැනි අධිකාරිය, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතේ 183 වැනි අධිකාරිය 1968 අංක 18 දරන පීඩාකාරී අවි පිළිබඳ ආඥා පනත යටතේ නඩු පැවරීම සිදුවිය.

1948 වසරේ ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වුවද එය නාමික (ඩොමීනියන්) නිදහසක් බව රැජිනගේ කිරීටයට එරෙහිව ආයුධ ගැනීමේ චෝදනාවට යටතේ නඩු පැවරීමෙන් සනාථවේ.

අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත ජාතික රාජ්‍ය සභාව තුළ ඉන් පිටතත් බලවත් ලෙස විවේචනයට ලක්විය. නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව ප්‍රධාන වශයෙන් යොදාගැනීමට අදහස් කර තිබුණේ සැකකරුවන්ගේ ප්‍රකාශයන් ය. අපරාධ සහායකයන්ගේ පාපොච්චාරණ තහවුරු කර ගැනීමක් තොරව ඔවුන්ට එරෙහිව සාක්ෂි ලෙස භාවිතා කිරීම පිළිගත් නීති මූලධර්මයන්ට පටහැණිය. එසේ අපරාධෝච්චාරණ සාක්ෂි නොමැති තැනැත්තන්ට විරුද්ධව වෙනත් අයගේ ප්‍රකාශ ප්‍රවාදක සාක්ෂි ලෙස යොදා ගැනීම පනත මඟින් කොමිසමට අවසර දී තිබිණි. පනතේ 11 (2) (ආ) වගන්තිය මෙසේය.

“අපරාධෝච්චාරණයක් කොමිසම් සභාව ඉදිරියේ ඒ තැනැත්තාට හෝ වෙනත් යම් තැනැත්තෙකුට එරෙහිව ඔප්පු කරනු ලැබිය හැකිය. එම ප්‍රකාශයේ වැදගත්කම ප්‍රතික්ෂේප කිරීමට අපේක්ෂා කරණ තැනැත්තන් ඒ තර්කය තහවුරු කිරීමට අවශ්‍ය කරුණු ඔප්පු කිරීමේ භාරය ඒ තැනැත්තා කෙරෙහි විය යුතුය.” අපරාධ නඩුවක සාක්ෂි සනාථ කිරීමේ වගකීම පැමිණිල්ලට තිබුණද මෙම නීතිය මගින් එය උඩු යටිකුරු කර තිබිණි.

නඩු විභාගය ආරම්භයේදීම කැරැලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ බාල තම්පෝ කොමිසමේ සුජාතභාවය ප්‍රශ්න කිරීම නිසා ගැටලුසහගත තත්ත්වයක් ඇති විය. එයට විනිශ්චයකරුවන් උත්තර දෙනු ලැබූවේ බලා තම්පෝට කොමිසම ඉදිරියේ පෙනී සිටීම තහනම් කිරීමෙනි.

රෝහණ විජේවීර කො‍මිසම පිහිටුවීම ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැණි බවට පිටු 25ක ලිපියක් ඉදිරිපත් කළේය. එම ලේඛනය මගින් සැකකරුවකු අවිනිශ්චිත කාලයකට අත්අඩංගුවේ තබා ගැනීමට ස්ථිර ලේකම්වරයාට දී තිබුණු බලයට දැඩි ලෙස විරෝධය දැක්වූයේය.

“පාර්ලිමේන්තුවට පුරවැසියාගේ සමහර මූලික අයිතිවාසිකම් පැහැරගත නොහැකිය” කැල්වින් සාමී උපුටා දක්වමින් විජේවීර විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය අධිකරණ බලය ප්‍රශ්න කළ වැදගත් පුරවැසි මැදිහත් වීමකි. අධිකරණ බලය සුදුසු ලෙස නිර්මාණය කොට සුදුසු ආකාරයට පත්කිරීම් සිදුව යථා පරිදි ස්ථාපිත වුවත් මෙම අධිකරණය එලෙස බිහිව නැති බව ඔහු තර්ක කළේය.

විත්තිකරුවන් ලෙස නම්කර තිබුණ ද 71දී ජවිපෙ දෙවැනියා ලෙස සැලකෙන විජේසේන විතාරණ නොහොත් සනත්, මාතර දිසා ලේකම් වූ සුසිල් වික්‍රම, කෑගල්ලේ නායකයා වූ සරත් විජේසිංහ සහ උතුරු කොළඹ දිසා ලේකම් වූ එච්. මිල්ටන් යන අය කැරැල්ලේදී මිය ගොස් සිටියහ. 41 වැනි සැකකරු වූ ජේ.ඒ.ජී. ජයකොඩි යන මහ නඩුවෙන් නිදහස්කර කුරුණෑගල පොලිසියට පහරදීමේ චෝදනාව යටතේ වෙනම නඩුවක් පැවරිණි.

නඩු විභාගයේදී සමහර විත්තිකරුවන්ට බාල තම්පෝ උපදෙස් දුන් අතර විජේවීර නීතිඥ සහායත් ලබා ගත්තේ නැත. නඩු විභාගය ආරම්භයේදීම ලොකු අතුල, ටී.ඩී. සිල්වා, කුමානායක රජයේ සාක්ෂිකරුවන් වූහ. අඩු දඬුවම් හෝ පවුලේ අනෙක් සාමාජිකයන් නිදහස් කරවා ගැනීම ඔවුන් රජයේ සාක්ෂිකරුවන්වීමේ අරමුණ බව පෙනේ.

විජේවීරට සහාය දුන් බෝපගේ, උයන්ගොඩ, ඔස්මන්ඩ්, ඇලඩින් සුබසිංහ සහ නයනානන්ද ඇතුළු පිරිස රාජ්‍ය මර්දනයට මුහුණදීම සඳහා සන්නද්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බව පිළිගත්තද අප්‍රේල් සිද්ධීන්වලට ඔවුන් වගකිවයුතු නොවන බැවින් නිවැරැදිකරුවන් බව කියා සිටියහ. වික්ටර් අයිවන්, සුනිල් රත්නසිරි ද සිල්වා, විජේපාල සහ ආනන්ද ඇතුළු පිරිස රජය පෙරළීමේ උත්සාහයට ඔවුන් හවුල් වූ බව කියා සිටි අතර ඔවුන් විප්ලවීය පක්ෂයක් නියෝජනය කළ බැවින් සන්නද්ධ විප්ලවයකින් රජය පෙරළීම යුක්තිසහගත බව කියා සිටියේය.

1971 සැප්තැම්බරයේදී සෙනෙට් සභාව අහෝසි කිරීම සිදුවිය. 72දී නව ව්‍යවස්ථාවක් සම්පාදනයව බ්‍රිතාන්‍ය කිරීටයෙන් මුළුමනින්ම නිදහස් ස්වාධීන ජනරජයක් බිහිවිය. මේ නඩුවේ ඍජු ප්‍රතිඵල නොවූවද තරුණ නැඟිටීම එයට බලපෑ බව බැහැර කළ නොහැකි සත්‍යයකි.

කැරැලිකරුවන් වසර 7කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව දඬුවම් වින්දේය. අපරාධ යුක්ති කොමිසම් නීතිය යටතේ මූල්‍ය වංචා චෝදනාවට ලක්වූ පිරිසකට දඬුවම් කර තිබිණි. 1977 දී බලයට පත් එජාප රජය ඔවුන් බේරාගැනීම සඳහා එම පනත අවලංගු කළ බැවින් ඒ යටතේ වැරැදැකරුවන් කළ 71 අරගලකරුවන්ට නිදහස හිමිවිය.

අත්අඩංගුවට පත් තරුණයෙක්

අත්අඩංගුවට පත් තරුණයෙක්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT