ශ්‍රී ලංකාවේ දින දසුන්වල අප්‍රේල් 5 යනුවෙන් දිනයක් සඳහන් වුව ද එකී දිනය පිළිබඳ සුවිශේෂ යමක් එහි සටහන් නොවේ. එහෙත් ශ්‍රී ලාංකේය සමාජයේ දේශපාලනික ක්ෂේත්‍රය තුළ අප්‍රේල් 5 පිළිබඳ ලියවී ඇත්තේ දේශපාලනික අර්ථකථනයකි. එය දින දසුනක රතුපාටින් සඳහන් නොවූව ද සමාජ දේශපාලනික වෙනසක් අපේක්ෂා කරන බහුතර ජන සමාජය තුළ ඒ දිනය ලියවී ඇත්තේ රක්ත වර්ණයෙනි. ඒ, වඩාත් අනුස්මරණීය ලෙස ය.
1971 සිට 2025 දක්වා ගෙවී ගිය කාලය වසර 54කි. ගෙවුණු ඒ වසර 54ට ම වඩා වඩාත් සුවිශේෂ දේශපාලනික වැදගත්කමකින් යුතුව අපට මෙවර අප්‍රේල් 5 පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුව තිබේ. එයට හේතුව 71 පරම්පරාවේ සහෝදරත්වය විසින් ස්වකීය ජීවිත පුදා කරන ලද අරගලය එක්තරා තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති හෙයිනි. ඔවුන්ගේ තුන් වැනි පරම්පරාවේ නායකත්වය විසින් පැරණි ධනේශ්වර පාලන පන්තිය පෙරළා දමා බලය අත්පත් කරගෙන ඇති හෙයිනි.
සමාජයක් යනු විවිධ මතවාද සමූහයන්ගෙන් යුතු එකතුවකි. එවැනි සමාජයක් තුළ සංවිධාන බිහි වීම සාමාන්‍ය කාරණයකි. එවැනි සමාජ සංවිධාන අතරට ගැනෙන දේශපාලනික පක්ෂයක් දුක් විඳින පීඩිත පන්තියේ ජනතාව සංවිධානය කර නිර්ධන පන්තිය අතට බලය ලබා ගත හැකි යැයි උපකල්පනය කර දශක හයකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබේ. එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරවීමට ඔවුන්ට අවසානයේ හැකි වී තිබේ. පළමු වරට පන්තිය සංවිධානය කිරීමේ අරමුණින් ගම් දනවු කරා ගොසින්, රටේ අස්සක් මුල්ලක් නෑර කම්කරුවන්, ගොවීන්, සිසුන් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල පිරිස් අතරට ස්වකීය පන්තිමය මතවාදය රැගෙන යෑමට කටයුතු කිරීමේ ගෞරවය 71 පරපුරට හිමිව තිබේ. බොහෝ පරාජයන්, පාවාදීම් සහ විවිධ දුෂ්කරතා මැද අරමුණු අත් නොහළ, තමන්ගේ මතවාදය වෙනුවෙන්ම පෙනී සිට ජීවිතය පූජා කළ 71 පරම්පරාවේ මිනිස්සු සැබෑ ආදරණීයයෝ ම ය.
පුද්ගලයකුට ලැබෙන මිල කළ නොහැකි වටිනා ම වස්තුව ස්වකීය ජීවිතයයි. තමන්ගේ වටිනා ම ජීවිතය පෞද්ගලික අරමුණු වෙනුවෙන් නො ව, පොදු අරමුණු වෙනුවෙන් වෙන් කළ හැකි බවත්, ඒ වෙනුවෙන් මිය යා හැකි බවත් ජන සමාජයට පළමු වරට පෙන්වූ 71 සහෝදරත්වය පිළිබඳව ලියවී ඇත්තේ ඉමහත් භක්තිමත් හැඟීමකිනි.
71 පිළිබඳ විවිධ සාකච්ඡා, සටහන්, අදහස්, මතවාද ඕනෑ තරම් ලියවී තිබේ. ඒවා යළි යළිත් මෙහි සටහන් කිරීම අපගේ අපේක්ෂාව නොවේ. පිළිම, ස්මාරක, සැමරුම් දින නැති, නාඳුනන බොහෝ මිනිසුන්ගේ අනුස්මරණීය දිනය අප්‍රේල් 5 බව පමණක් ලියා තැබීම ප්‍රමාණවත් ය. අතීතය අමතක කළ, අතීතය වළදැමීමට සූදානම් වන බොහෝ අවස්ථාවාදී මිනිසුන් අතර පටු ලාභාපේක්ෂාවලින් තොරව ජීවිත පූජා කළ මිනිස්සු වඩාත් ගෞරවනීය මහා අනුස්මරණීය ම වෙති.
සමාජ විප්ලවයක් යනු සමාජයේ ඇති වන ප්‍රබල, කැපීපෙනෙන, සුවිශේෂ වෙනසකි. එය සමාජ සංවර්ධනයේ ක්ෂණික පිම්මකි. සමාජ දේශපාලන වෙනස් වීම් සිදු වන්නේ ක්‍රමිකව නොව, ක්ෂණික පොළාපැනීම් ලෙස බව තේරුම් ගැනීමට එය කදිම උදාහරණයකි. සමාජ විප්ලවයක් න්‍යායිකව ගත් විට, එය එක් පන්තියක් අතින් තවත් පන්තියකට බලය මාරු වීමේ ක්‍රියාවලියකි. එය ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක තලයේ වර්ධනයක් ද සිදු වන කාරණයකි. සමාජ විප්ලවයෙන් පසු ඇති වන සමාජ වෙනස් කිරීම් සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් සැලසුම්සහගත අරමුණු තිබිය යුතුය. ඒ සඳහා සමාජයක හරය තුළින්, පිටතින් සරලව, ගැඹුරින් යනාදි සියලු ආකාරවලින් කෙරෙන සමාජ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. ඒවා මූලික න්‍යායාත්මක තලය මත පිහිටා කරන වෙනස්කම් විය යුතුය.
අයුක්තිය, අසාධාරණය, පන්ති පීඩනය, ශ්‍රම සූරා කෑම, විරැකියාව, තරුණ අසහනය ආදි වූ නොයෙකුත් සමාජයේ පීඩාකාරි ප්‍රශ්නවලට විසඳුම් සොයා අරගල මාවතට ප්‍රවේශ වූ 71 පරම්පරාවේ සහෝදරත්වය වෙනුවෙන් රතු මලින් පුෂ්පෝපහාර කරන අනුස්මරණීය දිනය අප්‍රේල් 5 ලෙස සටහන් වේ.
ජීවිතය වෙනුවට මරණය තෝරාගත්, පාවා දීම හෝ යටත් වීම වෙනුවට මරණය තෝරාගත්, අප්‍රමාණ අප්‍රතිහත ධෛර්යයකින් යුතුව මියගිය පරම්පරාවකගේ ගෞරවනීය හෘදයසාක්ෂියට සාධාරණය ඉටු විය යුතුය. සැමරීමට සොහොන් කොතක්, ඇතැම් විටෙක මරණ සහතිකයක් හෝ නැතිව සියලු පෞද්ගලික සබඳතා අත්හැර පොදු අරමුණක් උදෙසා ජීවිත කැප කළ 71 සහෝදරත්වයේ ගෞරවනීය නාමය ඉදිරියේ තව තවත් රතු මල් පිපෙනු ඇත. ඒ, සමාජය තවදුරටත් යහපත් සමාජ මාවතක් කරා රැගෙන යෑමේ අරමුණු සහිත නව පරම්පරාවේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාසහගත දෑස්වලිනි. සත්තකින් ම 71 පරම්පරාවට 21 වැනි ශත වර්ෂයේ පරම්පරාවේ තාරුණ්‍යයෙන් සදානුස්මරණීය ගෞරවය හිමි වේ.
වසර 54ක අතීත අත්දැකීම් මධ්‍යයෙන් අපි ඊළඟ ශත වර්ෂය සඳහා අත්‍යවශ්‍ය වන පෙරවදන ලිවිය යුතුව ඇත. ඒ සඳහා අප වේලාසනින් අවදි වී තිබිය යුතු වනු ඇත. නිරවුල් මනසින් ලෝකය දෙස බලා විමර්ශනය කර ගත යුතුව ඇත.
“නිතර ම අවදි වූ මනසින් සිටින්න. යුක්තිය හා සාධාරණත්වය කවර හෝ මොහොතක ජය ගනු ඇත.”
71 සහෝදරත්වය මෙරට ජන සමාජයට වසර 54කට එපිටදී නිහඬව ම කියා දුන් පාඩම එයයි.