මුදුන්ගොඩ, බැලුම්මහර සති පොළේ වෙළෙඳුන්ට වෙළෙඳාම් කිරීමට ඉදි කර ඇති ඇතැම් වෙළෙඳසල් කණු සිටුවා ඒවායේ වහලය සකස් කිරීම අතරමඟ නවතා දමා ඇති බැවින් මෙම ස්ථානයට පැමිණෙන වෙළෙඳුන්ට වෙළදාම් කිරීමට ප්‍රමාණවත් වෙළෙඳසල් නොමැතිකමෙන් ඔවුන් අව්වෙන් සහ වැස්සෙන් පීඩාවට පත්වන බව එම වෙළෙන්දෝ පවසති.
මේ වන විට මෙම ස්ථානයේ වෙළෙඳාමේ නිරත සමහර වෙළෙඳුන් කැළිකසළ මෙම භූමියේම දැමීම හේතුවෙන් ප්‍රදේශය අපවිත්‍රව දැඩි දුඟදක් හමන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. වෙළෙඳුන් මැසිවිලි නඟන්නේ, මේ වන විට මෙම භූමියේ වෙළෙඳුන්ට අවශ්‍ය ජලය ලබා ගැනීමට නළ ළිඳක් සවි කර ඇතත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. මෙම සති පොළ භූමියේ විදුලි පහන් සවි කර නොමැතිකමින් රාත්‍රී කාලයට මෙම භූමිය මත්ලෝලීන් විවිධ අපචාර ක්‍රියා සඳහා යොදා ගන්නා ස්ථානයක් බවට පත්ව ඇති බවද ප්‍රදේශවාසීහු කියා සිටිති. මීට අමතරව මෙම භූමියට පැමිණෙන වෙළෙඳුන්ට සහ පාරිභෝගික ජනතාවට සිය රථ වාහන ගාල් කර තැබීමට රථ ගාලක් නොමැතිකමින් ඔවුන් විවිධ කරදරවලට මුහුණපාන බවද දැනගන්නට ලැබේ. මෙම භූමියේ කොටසක් කැලයෙන් යටවී අපිරිසුදුව පවතින බැවින් ප්‍රදේශයේ මැසි මදුරුවන් බෝ වීමේ අවදානමක් මතුව පවතින බව එහි ගිය අපට දැක ගැනීමට හැකි විය. මෙම සති පොළ පෞද්ගලික සතිපොළක් වන නමුත් එය සංවර්ධනය කිරීමට මෙහි හිමිකරුවන් කටයුතු නොකිරීම සම්බන්ධව වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව මැසිවිලි නඟති. ඒ අනුව ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ, වසර ගණනාවක් පැරණි මුදුන්ගොඩ, බැලුම්මහර සති පොළ නිසි පරිදි පිළිසකර කර දෙන ලෙසයි.