ජනපති අරමුදලේ මුදල් අවභාවිත වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 06ක කාලයක් ඊයේ (07) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මෙම විමර්ශනය සිදු වන්නේ 2008 වසරේ සිට 2024 දක්වා වූ වසර 16ක කාලයක් තුළ ජනපති අරමුදලේ මුදල් අවභාවිත වීම් සම්බන්ධයෙනි.
මේ කාලය තුළ ආණ්ඩු බලයේ සිටි මැති ඇමැතිවරු විසිදෙදෙනකු ජනපති අරමුදලේ මුදල් නිසි ක්‍රමවේදයෙන් පිට ලබාගෙන ඇති බව හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. එකී දේශපාලනඥයන්ට විශේෂත්වයක් ලබාදෙමින් නිසි ක්‍රමවේදයට පිටින් සහ නියමිත ප්‍රමාණයට වඩා ජනපති අරමුදලේ මුදල් ලබාදීම් සම්බන්ධයෙන් මෙම වසර 16ක කාලය තුළ ජනාධිපති ධුර දැරූ ජනාධිපතිවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගැනීමට සූදානමින් සිටියි. මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ ඒ අනුවය.
විමර්ශනවල අවශ්‍යතා අනුව ඉදිරියේදී හිටපු ජනාධිපතිවරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත ජනාධිපති අරමුදලේ මුදල් නිසි ක්‍රමවේදයෙන් පිට ලබාගෙන අවභාවිත කර ඇති හිටපු මැති ඇමැතිවරු කිහිප දෙනකු කැඳවා ප්‍රශ්න කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.
පැවැති ආණ්ඩුවල මැති ඇමැතිවරු සහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් නියමිත ක්‍රමවේදයෙන් පිට ජනපති අරමුදලේ රුපියල් කෝටි 10කට අධික මුදලක් විවිධ ප්රමාණයන්වලින් ලබාගෙන ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
ඊට අදාළ ගොනු මේ වන විට විමර්ශනයට ලක්වෙමින් ඇති අතර එම මුදල් බැරවූ බැංකු ගිණුම් 24ක් සහ අන්තර්ජාලය ඔස්සේ මුදල් හුවමාරුවීම් 06ක් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ නියෝගයකින් විමර්ශන පැවැත්වේ.