එංගලන්තයේ රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ විසි දෙකක මුදලක් ලබාගෙන එම මුදල වංචා කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට සිටි. අඹු සැමි යුවළක් රුපියල් ලක්ෂ 25 බැඟින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ ප්රධාන මහේස්ත්රාත් සීලනී පෙරේරා මහත්මිය නියෝග කළාය.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශයට ගනේමුල්ල ප්රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන සිටි මහනුවර ගලහ ප්රදේශයේ යුවළක් මෙලෙස ඇප මත මුදා හැරිණ.
මෙහිදී සැකකාර යුවළ වෙනුවෙන් කරුණු දක්වා සිටි නීතිඥ චානක කපුරු බණ්ඩාර මහතා තම සේවාදායකයින්ගේ එංගලන්තයේ පදිංචි නීතිඥයකු බව කියන හිතවත් පුද්ගලයකුගේ දැනුම් දීමකට අනුව ඔවුන් විසින් මුල් අවස්ථාවේදී බැංකු ගිණුමක් ආරම්භකොට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ලක්ෂ පනස් පහක මුදලක් එම ගිණුමට බැර කර ඇති අතර ඒ සඳහා අත්සන් සහිත හිස් චෙක්පත් කිහිපයක්ද එකී පුද්ගලයා විසින් ඔවුන්ගෙන් ලබාගෙන ඇති බව පැවසීය.
තවද විදේශගතවීමට බලාපොරොත්තු වූ පුද්ගලයා විසින් ලබා දුන් ලක්ෂ විසි දෙකක මුදල ද එම ගිණුමේ තැන්පත් කර ඇති බව පැවැසූ නීතිඥවරයා එකී මුදල ද ඇතුළුව සම්පූර්ණ මුදල් එම පුද්ගලයා විසින් ලබාගෙන ඇති බවත් තම සේවා දායකයෙන් කිසිඳු මුදලක් ලබාගෙන නොමැති බවත් පැවසීය. තම සේවා දායකයන් කිසිදු වංචාවක් සිදු කර නොමැති බැවින් ඔවුන්ට සුදුසු කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ පිළිබඳව සලකා බැලූ මහේස්ත්රාත්වරිය එම සැකකාර යුවළ ඇප මත මුදා හැරියාය.