දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිටදී තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ වෙඩික්කරුවෙක් බවට සැක කරන අයෙක් ඇතුළු දෙදෙනෙක් නීතිඥවරු දෙදෙනෙක් සමඟ පැමිණ ගන්දර පොලීසියට පෙරේදා (07) භාරවී තිබේ.
යුද හමුදාවෙන් පළාවිත් සිටින සෙබළෙක් වන එම සැක වෙඩික්කරු ආදාහනාගාර ක්‍රියාකරුවෙක් ලෙසද රැකියාවේ නිරත වෙමින් සිට ඇත.
සිංහ රෙජිමේන්තුවේ සේවයේ නිරත දෙවිනුවර එගොඩවත්තේ පදිංචිකරුවෙක් වන මොහු අවුරුදු 35ක් වයසැති අයෙක් බව පොලීසිය සඳහන් කරයි. ඩුබායිහි රැඳී සිටින දෙහිගෙදර පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඔහු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබුණි. ඒ අනුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මෙම සැකකරු නීතිඥවරුන් සමඟ පැමිණ භාරවී ඇත්තේ මෙම ද්විත්ව ඝාතනයේ තවත් සැකකරුවකු වන මාතර ගන්දර පදිංචි 26 හැවිරිදි සැකකරුවෙක්ද සමඟිනි. වෘත්තියෙන් ධීවර කාර්මිකයෙක් වන ඔහු මෙම ද්විත්ව ඝාතනයට ආධාර හා අනුබලදුන්නෙක් බවට පොලීසිය හඳුනාගෙන තිබුණි.
මෙම සැකකරුවන් දෙදෙනා ගන්දර පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ. රඳවා ගැනීමේ නියෝගයකින් ඔවුන් දෙදෙනා රඳවාගෙන විමර්ශන පැවැත්වෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් වෙඩික්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලීසිය සඳහන් කරයි.