සොරකම් කළ රාජ්‍ය දේපළ සහ වත්කම් නැවත අයකර ගැනීම පිළිබඳව වන විශේෂ පනතක් පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ සම්මත කර ගනු ලැබිණි. මෙය මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් හා සුවිශේෂිතම සිද්ධියකි.
“අපරාධයකින් උත්පාදිත දෑ පිළිබඳ පනත” යනුවෙන් නම්කර ඇති මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හමුවේ ඒකමතිකව සම්මත වූ අතර, එය ශ්‍රී ලාංකේය දේශපාලනික ඉතිහාසයේ ඓතිහාසික දිනයක් ලෙස සටහන් විය. රාජ්‍ය දේපළ සොරා ගත් බවට චෝදනා ලැබූ දේශපාලනඥයන් සහ අනෙකුත් පුද්ගලයන් මෙතෙක් නිදැල්ලේ හැසුරුණේ ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා ප්‍රමාණවත් නීති නොතිබූ නිසාවෙන් බවත් ඒ සඳහා බලයට පත් දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ලැබුණු නිසාවෙන් බව අප සැවොම දන්නා කාරණයකි.
සොරා ගත් දේපළ පවරා ගැනීම සඳහා වන නව පනතක අවශ්‍යතාව කාලයක් තිස්සේ මෙරට තුළ දේශපාලනික ක්ෂේත්‍රයේ ඉතා බරපතළ ලෙස සංවාදයට ලක් වූ කාරණයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබන ලද ගිවිසුමේ කොන්දේසි අතර ද මෙම පනත ගැන අවධානය යොමු කොට තිබුණි. මෙවැනි වූ පනතක් සඳහා වූ පනත් කෙටුම්පත වසර නවයක් තිස්සේ සාකච්ඡාවට ලක් වෙමින් පැවති නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟුණේ නැත.
අපරාධමය වරදකට වරදකරු නොවී වුවද කෙනකු අයථා ලෙස උපයා ගත් ධනය ඇති නම් ඒවා යළි අත්පත් කර ගැනීම සඳහා සහ රාජසන්තක කර ගැනීම සඳහා නව පනත මඟින් ඉඩකඩ සැලසෙන බව කියවේ.
මෙය ඉතා හොඳ යහපත් දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය නිරූපණය කරන කාරණයකි.
අයථා ලෙස උපයා ගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන් සක්‍රියව කටයුතු කළ යුතු ආයතන ගණනාවකි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය ඒ අතරින් ප්‍රධාන ය. මෙම පනත යටතේ රජයට පවරා ගන්නා වත්කම් කළමනාකරණය කිරීම වෙනුවෙන් ස්ථාපනය කිරීමට යෝජිත ආයතනය සහ අපරාධයක වින්දිතයන්ගේ හානි පූර්ණය කිරීමේ අරමුදලක් ද මෙම පනත අනුව ස්ථාපනය වේ. ඒ අනුව මෙම පනත ඉතාමත් විධිමත් සැලසුමක් සහ ක්‍රමවේදයක් මත ගොඩනැඟුණු එකක් බව පැහැදිලිය. එමෙන්ම කාලාන්තරයක් තිස්සේ ජනතාව ඉල්ලා සිටි ක්‍රමවේදයක් සකස් කිරීමකි.
ජනතා දේපළ හෝ රාජ්‍ය දේපළ සොරාගෙන ඇති නම් ඒවා යළි පවරා ගන්නා බවත් ඊට අදාළව නීති සකස් කරන බවත් පසුගිය මැතිවරණවලදී ඉතා ජනප්‍රිය සටන් පාඨයක් විය. ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනුණ ද එය ඵලදායක තත්ත්වයට පත් නොවුණු බවක් පසුගිය සමාජ දේශපාලනික වටපිටාව තුළ හඳුනා ගැනීමට ලැබුණි.
නීතිවේදීන් පෙන්වා දෙන ආකාරයට සොරාගත් වත්කම් නැවත ලබා ගැනීම සඳහා මූලික ආකාර තුනකට කටයුතු කළ හැකිය. පළමුවැන්න එලෙසට සොරාගෙන ඇති වත්කම් හඳුනා ගැනීමයි. නිශ්චිතව එම දේපළ කවරේ ද යන්න හඳුනාගෙන ගණනය කර ගැනීමක් සිදු කළ යුතුය. දෙවනුව යම්කිසි අධිකරණමය හෝ පරිපාලනමය ක්‍රියාදාමයක් යටතේ වත්කම් තහනමකට ගැනීම හෝ රාජසන්තක කිරීම සිදු කළ යුතුය. තෙවනුව එම වත්කම් නිසි අයිතිකරුවන්ට ලබාදීම හෝ නැතිනම් රජය සතු කර ගැනීම සඳහා වන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ යුතුය. මෙය සංකීර්ණ ක්‍රියාදාමයකි. ඒ සඳහා විධිමත් නීති පද්ධතියක් නොමැති නම් ඒ සඳහා නීති සකස් කිරීම ද සිදු කළ යුතුය. මෙම පනත සම්මත කිරීම හරහා සිදු කෙරුණේ එම තත්ත්වයයි.
රාජ්‍ය දේපළ සොරා ගැනීම සහ අවභාවිතය සිදු කරන්නන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකාවේ දැනටමත් නීතිමය ප්‍රතිපාදන කිහිපයක් පවතී. 1950 අංක 11 දරන අල්ලස් පනත, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත, 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ඒ අතරින් කිහිපයකි.
යම්කිසි පුද්ගලයකුගේ මාසික වැටුප සහ ඔහුගේ වත්කම්වලින් උපයා ගත හැකි ආදායම්වලට වඩා ඉහළ මට්ටමක ජීවන රටාවක් ගත කරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ වත්කම් පිළිබඳව සොයා බැලීමට හා විමර්ශනය කිරීමට මේ අනුව හැකියාව ලැබේ. නීති විරෝධී සහ අයථා ක්‍රමවලින් උපයා ගත් වත්කම් පිළිබඳව තොරතුරු විමර්ශනය කොට ඒ අනුව නීති පියවර ගැනීම මෙම පනත මඟින් සිදු කෙරේ.
දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස අත්සන් තැබුවේ 2004 වසරේදී ය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියට යම් ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබා දුන්න ද එය විසි වැනි සංශෝධනයෙන් ඉවත් කෙරුණි. ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තුවේ බොහෝ මැති ඇමැතිවරුන් කටයුතු කළේ ඒ ආකාරයට ය.
වඩාත් සරලව කිවහොත් අපේ රටේ දූෂණය හා වංචාව පිටුදැකීමට නීති පද්ධතිය ක්‍රියාත්මක නොවීමත්, නව නීති සම්පාදනය නොවීමත්, දේශපාලන අධිකාරියේ රැකවරණය ලැබීමත් යන හේතු මුල්කොටගෙන වංචාව හා දූෂණය මුල් බැසගෙන තිබුණි.
සොරා ගත් දේපළ රජයට යළි පවරා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර උදාහරණයක් පිලිපීන රාජ්‍යයෙන් හමුවේ.
පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් එමානුවෙල් මාකෝස්ගේ පාලන කාලය තුළ (1965- 1986) මාකෝස් විසින් අනීතිකව අත්පත් කර ගත් දේපළ රජයට පවරා ගැනීම වෙනුවෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණි. ඔහු විසින් අත්පත් කර ගෙන තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 683ක දේපළ ඔවුනට අයිති නොවන බවට එම නඩු විභාගයෙන් තහවුරු කෙරුණි.
ශ්‍රී ලංකාව තුළ ද මෙවැනි අයථා වත්කම් උපයා ගැනීම් පිළිබඳව විවිධ කතාබහ සමාජගත වී තිබුණි. කවර තත්ත්වයක් යටතේ වුවද අල්ලස දූෂණය සහ වංචාව අනිවාර්යයෙන්ම පිටු දැකිය යුතුය. ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග සකස් වීම මෙන්ම පුද්ගල ආකල්ප සහ විනය සකස්වීම ද අත්‍යවශ්‍ය කාරණයකි.
ජන සමාජයට වගකියන පුරවැසියකු සහ රාජ්‍ය සේවකයකු නිර්මාණය කර ගැනීමේ මූලික අඩිතාලම ගොඩනැඟෙනුයේ එවිටය. එම අර්ථයෙන් මෙම ප්‍රවේශය ඉතාමත් අගය කළ යුත්තකි.
ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ ජන සමාජය ඉල්ලා සිටි “සමාජමය වෙනස” ඇති කර ගත හැකි වනුයේ එවිටය.
සත්තකින්ම මෙය ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තබන ලද ඓතිහාසික ප්‍රවේශයකි. එම නිසා මෙකී පනතේ ප්‍රායෝගිකත්වය පිළිබඳව අපි ඉතා විමසිල්ලෙන් බලා සිටිමු.