Home » පළමු කතාවෙන්ම ගිනි පුපුරු විසිවෙයි

පළමු කතාවෙන්ම ගිනි පුපුරු විසිවෙයි

by sachintha
April 17, 2025 1:53 am 0 comment

“වට් ඉස් නවල්” (What is Novel?) යන යෙදුමට හෝ ප්‍රශ්නයට හෝ නිශ්චිත, නිරවුල් හා පරිපූර්ණ උත්තරයක් සැපයීම දුෂ්කරය. මන්ද යත්; නවකතාව යනු ද එක්තරා නිර්මාණ විශේෂයක් වන බැවින්ය. එහි අර්ථ මෙන්ම ශිල්ප ධර්ම ද, අරමුණු හා අපේක්ෂා ද සමාජ ක්‍රම විකාශයත් සමඟ වෙනස් වෙයි. නැතහොත් පරිවර්තනයට ලක් වෙයි.

එහෙත් බටහිර යුරෝපය කේන්ද්‍ර‍ෙකාට නවකතාව බිහිවන යුගයේ පටන්ම අදටත් අවධානයෙන් නොගිලිහුණු මතවාද දෙකක් අප සිහියට නැඟේ.

(I) නවකතාව යනු ජීවිත විවරණයකි. නැතහොත් ජීවිතය මේ යැයි වටහාගැනීම සඳහා දරනු ලබන නිර්මාණාත්මක වෑයමකි. එහි එක් අරමුණක් වන්නේ ජීවිතය විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ කියවීම යැයි පෙන්වා දිය හැකිය.

(II) නවකතාවේ ප්‍රධාන අපේක්ෂාව විය යුත්තේ වින්දනයයි. කතාවක් ඔස්සේ රස භාව මැවීම මෙයින් අපේක්ෂිතය. වින්දනයක් නැති තැන, කතාවක් නැත. කතාවක් නැති තැන ප්‍රබන්ධයක් හෙවත් නවකතාවක් නැත.

අද විචාර කවුළුව ඔස්සේ නවකතාව පිළිබඳ පරණ මතවාද අවුස්සන්නේ මන්දැයි කෙනකු සිතන්නට පුළුවන. ඊට හේතුවක් තිබේ. අද අපගේ විමර්ශනයට ලක් වන “ඉසොප්වේරා” නවකතාව ඉහත මතවාද දෙකම ස්පර්ශ කරමින් රචනා වී තිබේ. එම කතාවේ මූලික අරමුණ ප්‍රේමය, ලිංගිකත්වය හා පවුල් ජීවිතය අතර පවත්නා අරගලය නිරූපණය කරමින් ජීවිතය පිළිබඳ අලුත් කියවීමක් මතු කිරීම යැයි කිවහොත් එය අසත්‍යයක් නොවේ. මෙහි කතුවරිය වන දිලිනි කෞෂල්‍යා ජයසූරිය නීතිවේදිනියකි. එමෙන්ම රූපවාහිනී නිවේදිකාවකි. ඇයගේ ජීවන වෘත්තීන් දෙකම ජීවිතයට අදාළ අලුත් ඉසව් ස්පර්ශ කිරීමට අවස්ථා උදාකරයි. මගේ සිහියට නැඟෙන්නේ මෑතකාලයේ යුරෝපය පුරා මහත් කතාබහකට ලක්වූ ටොම් ක්රූව්ගේ “ද නිව් ලයිෆ්” “The new life” නම් නවකතාවය. ඒ පිළිබඳ විචාර සටහන් සියල්ලෙහිම පාහේ සඳහන් වන්නේ ටොම් ක්රූගේ නවකතාවෙන් ප්‍රේමය, ලිංගිකත්වය හා කුටුම්බය අතර පවත්නා අරගලය මනා සේ නිරූපණය වන බවය.

ලන්ඩනයෙහි ජීවත්වන පවුල් දෙකක් කේන්ද්‍ර‍ෙකාට නවකතාව ගොඩනැඟෙයි. එක පවුලක් සම ලිංගික යුවළකි. අනෙක් පවුල ස්ත්‍රී – පුරුෂ සබඳතා සහිත යුවළකි. මේ සිවු දෙනාම කිසිදු භේදයකින් තොරව ස්වකීය කුටුම්බය ආරක්ෂා කිරීමට වෑයම් කරති. එලෙසම ලිංගික නිදහස පවත්වා ගැනීමට උත්සුක වෙති. එය අරගලයකි. අප්‍රිකාවට හා ආසියාවට වඩා ලිංගික නිදහසක් ඇති යුරෝපයේ නව ජීවිතය ආරම්භ වන්නේ එලෙසය. එය ජීවිතය නව දෘෂ්ටි කෝණයකින් කියැවීමක් හැටියට පෙන්වා දිය හැකිය.

දිලිනි” කතුවරිය සිය ප්‍රථම තේමාවට අමතරව තවත් සෙසු කරුණු හතරක් කෙරෙහි සිය අවධානය යොමු කර ඇත.

(I) නාගරික ඉහළ මැද පන්තියේ කාර්යබහුල ජීවිතය හා ඔවුන්ගේ කුටුම්බ ජීවිත තුළ පවත්නා අවුල

(II) දෙමළ ජන සංස්කෘතියේ සංස්කෘතික සාධක මත ජීවිතයේ නිදහස සීමා වන ආකාරය හා ආරවුල් මතුවන ආකාරය.

(III) සිංහල හා දෙමළ සංස්කෘතිය තුළ තවදුරටත් පවතින නොපෑහීම හා එය ජිවිතය හා සමාජය කෙරෙහි බලපවත්වන විදිහ.

(IV) දෙමළ වුව සිංහල වුව තරුණ ජීවිත සංස්කෘතික රැහැනින් බැඳ මුල්ලකට තල්ලු කර තැබිය නොහැකි බව.

1970 ගණන්වල සිංහල – දෙමළ ගැටුම පිළිබඳ ප්‍රබල සංවාදයක් පැවැති අතර මේ අවුල විසඳීමට යොදාගතහැකි එක් උපායමාර්ගයක් ලෙස අන්තර් විවාහ ක්‍රමය යෝජනා විය. ඒ අනුව අන්තර් විවාහය සඳහා පිළිගැනීමක් ඇති කිරීම පළමු පියවර විය. එහෙත් එය සාර්ථක වූයේ නැත. අන්තර් විවාහය බොහෝ දෙනා ප්‍රතික්ෂේප කළහ. ඒ සමඟම සිදුවූ අන්තර් විවාහවලින් බොහෝමයක් අසාර්ථක විය. සිදුවිය යුතුව පවතින්නේ මේ සංස්කෘතික තල තේරුම් ගැනීම සඳහා ද ඒ ඒ සංස්කෘතීන්ට ගරු කිරීම සඳහා ද සමාජය යොමු කිරීමය. එයට අවකාශයක් තිබිය යුතුය. නිදහසක් ද තිබිය යුතුයි.

නූතන සමාජයට නිදහසක් නැත. අවකාශයක් නැත. සියල්ලන්ගේම ජීවිත කාර්යබහුල වී ඇත. ඔවුන්ට තමන්ගේම ජීවිතය දෙස එබී බලන්නට අවකාශයක් නැත. ඒ අනුව තමන්ගේම විවාහය පිළිබඳ නිදහසේ සිතන්නට තරුණ පරම්පරාවට ඉඩක් නැත. එය තීරණය කරන්නෝ වැඩිහිටියෝය.

“කාලයට වඩා සිදුවීම් වේගවත් වී ඇතැයි රාධිකාට සිතේ. අගේ හදවතේ ව්‍යාකූලභාවය වැඩිය. සිස්ටර් ලක්ෂ්මි පැවසුවේ දෙවියන් වහන්සේගේ මඟපෙන්වීම තුළින් විශ්වාසය හෝ තීරණය වඩාත් ප්‍රතිඵල උදා කරනු ඇති බවය. ජීවිතයේ සමහර තීරණ විශ්වාසයන් මත පදනම් වන බව ද රාධිකා දනියි. එහෙත් විශ්වාසයකින් තොරව ගන්නා ලද තීරණයක් හෝ තීරණ නිසා මුණගැහෙන විශ්වාස කළ නොහැකි දෙයක් හමුවූ විට කුමක් කළ යුතු දැයි රාධිකා නොදැන සිටියාය….” (ආරම්භය)

නවකතාවේ ආරම්භය කෙසේ විය යුතු දැයි යන්න පිළිබඳ දීර්ඝ සාකච්ඡා හා සංවාද අප දැක තිබේ. ඒවායෙහි දක්වා ඇති උපමාන කිහිපයක් සටහන් කරන්නට කැමැත්තෙමි.

(I) ගැටුමකින් කතාව ආරම්භ කළ යුතුය.

(II) කතාවේ ප්‍රධාන චරිතය පළමුව හඳුන්වා දිය යුතුය.

(III) කතාවේ පසුබිම විස්තර කිරීම වඩා වැදගත්ය.

(IV) ප්‍රධාන සිදුවීමට අදාළ අතිශය වැදගත් කාරණයක් ගැන ඉඟි කිරීම වඩා වැදගත්ය.

(V) අතිශය අවදානම්, සහගත අවස්ථාවකින්, උණුසුම් ගැටුමකින්, අවදානම් සහගත අවස්ථාවක් පිළිබඳ නිරූපණයකින් කතාව ආරම්භ කිරීම වැදගත්ය.

එක්සත් රාජධානියේ පර්යේෂිකාවන් දෙදෙනකු විසින් මෑතක දී ලියා පළ කළ ප්‍රබන්ධ කතාවේ “භාව හා සංකල්ප” නම් කෘතිය අප සිහියට නැඟේ. එම කෘතියට අනුව නවකතාවට වැදගත් සාධක අටක් පවතියි. ඉන් පළමුතැන ගන්නේ කතාවේ. කතා වස්තුව හා කතා සැකිල්ලය. දෙවන්න කතාවේ ගැටුමය. තුන්වැන්න කතාවේ ප්‍රධාන ගැටුමෙහි ඇති රහසය. එම කෘතියට අනුව කතාවේ රහසක් පැවැතිය යුතුය. එය කතාව අවසානය තෙක්ම රඳවා තබාගැනීම වැදගත්ය. මේ කෘතියේ ඇති තවත් විස්මිත කාරණයක් වන්නේ සෑම කතාවකම කර්තෘගේ අදහස් දැක්වීමට ඉඩක් තිබිය යුතු යැයි තර්කයක් ඉදිරිපත් කිරීමය. අප මෙතෙක් අසා ඇත්තේ කතුවරයා ප්‍රධාන කතාවෙන් ඉවත් විය යුතුය යන්නය. එලෙසම කතුවරයා පෞද්ගලිකව ඉදිරිපත්වී අදහස් දැක්වීම නොකළ යුතු බවට පිළිගැනීමක් රචකයන් ළඟ තිබිණි. අලුත්ම පර්යේෂණවලින් පෙනී යන්නේ එය නිර්රථක තර්කයක් බවය. ඒ අනුව කතාවේම කොටසක් කර්තෘට භාරගැනීමට සිදුවෙයි. දිලිනි කතුවරිය ද ඊට සමාන හැසිරීමක් පෙන්නුම් කර ඇත.

“පුංචිම පුංචි කාලේ ඉඳන් මම හැදුණේ කතා ගොඩක් මැද. ජිවිතේ මාත් එක්ක බෙදා ගත්තා. මේ වෙනකම් මාත් එක්ක එකට ගමන් ගත්තා. අතරමඟ අත්හැරලා දාලා ගිය, සමහරවිට අහේතුකව මඟහැරිලා ගිය හැම කෙනෙක්මත් ඔවුන් මාත් එක්ක බෙදා ගත්ත බොහෝ කතාත් බොහෝ සිදුවීමුත් මට ඉසොප්ටේරා කෘතිය ලියද් දී පසුබිම සැපයුවා.” ( පෙරවදන)

වාක්‍ය රටා අවුල් වුණත් කතුවරිය නවකතාවේ ප්‍රධාන කතාව සමඟ ඓන්ද්‍රීය ලෙස සම්බන්ධවීමට ඉදිරිපත් වන බවට ඉඟියක් ඉහත ප්‍රකාශයෙහි අන්තර්ගත වේ.

නවකතාව ආරම්භ වන්නේ කාලයට වඩා සිදුවීම් වේගවත් බව ප්‍රකාශ කරමින්ය. එය ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. ප්‍රබල හැඟවීමක් එහි පවතියි. ආකර්ෂණීය ආරම්භයක් හැටියට හඳුන්වාදිය හැකිය. මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් පෙන්වා දෙන අන්දමට ආකර්ෂණීය ආරම්භය නවකතාවේ ශක්තිමත් පදනම ලෙස පවතියි. ඉන් පෙනී යන්නේ කතුවරිය සිය ප්‍රථම නවකතාවෙන්ම පාඨකයන් අල්ලාගෙන ඇති බවය. ඇය කතාවේ චමත්කාරය ගැන ද අවධානය යොමු කර තිබේ.

“සිහින සහ යථාර්ථය අතර පරතරයක් තිබේ. එම පරතරය සිහින හඹායෑම වෙනුවට වඩාත් ප්‍රායෝගික අන්තයකට තල්ලු කරන්නේය…”

(පිටුව 02)

කතාවේ මුල් පරිච්ඡේද වෙන් කර ඇත්තේ රාධිකාගේ හා ධරන්නෝ විවාහ ජීවිතයේ නැතහොත් කුටුම්භයේ පීඩනය නිරූපණය කිරීමට යැයි කිවහැකිය. එය මේ දෙදෙනාගේ ජීවිතයේ පළමු කොටස ලෙස පෙනී යයි. දෙවන කොටස් ආරම්භ වන්නේ දෙදෙනාගේම ජීවිත තුළට නව සහකාරයන් නව සහකාරියන් එකතුවීමත් සමඟය. ඔවුහු නව සබඳතාවල පැටලෙති. එහෙත් එතැනින් ආරම්භ වන්නේ සැනසීමක් නොව; තවත් දෙදරා යන ඛේදවාචකයක ආරම්භයකි. ඔවුන්ගේ පීඩනය උපරිමය දක්වා ගමන් ගන්නා අයුරු ඊළඟ පරිච්ඡේදවලින් නිරූපණය කෙරේ. එහෙත් ජීවිතය ආපස්සට ගෙන ගොස් යළි එතැන් සිට ආරම්භ කළ නොහැකිය. අවශ්‍ය වන්නේ වර්තමානයේ සිට පටන්ගන්නා අලුත් ජීවිතයකි. එය කළ හැකිද?

7 – වැනි පරිච්ඡේදයෙහි ජීවිතය අධ්‍යයනය කිරීමට අදාළ ඉතා වැදගත් විස්තරයක් පවතියි. එය කතුවරයා මැදිහත්ව සිදු කරන විග්‍රහයක් බඳුය.

“රාධිකාට ඇත්තේ කෝපයක් ද, දුකක් ද ආත්මානුකම්පාවක්ද යන්න නිසියාකාරව තෝරා බේරාගත නොහැකි විය. රාධිකා සිස්ටර් ලක්ෂ්මිගේ විශ්‍රාම ගැනීමේ උත්සවයට නුවර පැමිණෙන තුරු ව්‍යාකූලව සිටියේ සියල්ල කණපිට හැරුණාක් මෙන් වූ ධරන් අමුතු හැසිරීම නිසාමය….”

(7 – පරිච්ඡේදය – 303 පිටුව)

රාධිකා – ධරන් – පාඨලී – ජෙනිෆර් යන සෑම චරිතයකින්ම උකහා ගැනීමට යමක් තිබේ. ඒ සියල්ල අවසන් ලෙස තල්ලුවන්නේ ජීවිතය යනු කුමක්දැයි විමසීමට යැයි සිතිය හැකිය. නවකතාව යනු ජීවිතය පිළිබඳ විවරණයකැයි කීම බොරුවක් නොවේ.

භාෂාව, රිද්මය හා ශෛලිය ගැන මීට වැඩි සැලකිල්ලක් දැක්වූයේ නම්, නවකතාවේ සම්භාව්‍ය ගතිය හා වටිනාකම මීට වඩා ඉහළ යනු ඇත.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT