Saturday, May 3, 2025
Home » අබුඩාබි තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අපරාජිතව පෙරමුණේ

අබුඩාබි තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අපරාජිතව පෙරමුණේ

-දෙවැනි තරගයේදී නායක සදීරගෙන් ශතකයක්

by sachintha
April 17, 2025 1:23 am 0 comment

ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අපරාජිතව පෙරමුණ ගනිමින් අවසන් මහා තරගයේ බලාපොරොත්තු ඉහළ දමා ගැනීමට සමත්විය. අයර්ලන්තයට එරෙහිව පැවති පළමු තරගය ලකුණු 45කින් ජයගත් ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල කඩුලු 6කින් පරාජයට පත් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්වූයේ +0.937ක ලකුණු ලබාගැනීමේ දළ වේගයක් ද රඳවා තබා ගනිමිනි.

ශ්‍රී ලංකා පිල අනිද්දා (19) යළි අයර්ලන්තය සමඟ තරග වදින අතර, 23 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ තරග වැදීමට නියමිතය. අයර්ලන්ත සහ ඇෆ්ගනිස්තාන පරාජිත කණ්ඩායම් දෙක අද (17) තරග බිමට පිවිසෙන අතර, යළි ලබන 21 වැනිදා තරග වැදීමට නියමිතය. අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 25 වැනිදාය.

අයර්ලන්තය සමඟ පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ඕවර 49.3කදී ලකුණු 264කට දැවී ගිය අතර, මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ ලකුණු 78ක් රැස් කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පිතිකරුවන් ඕවර 44.5කදී ලකුණු 219කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. තරිඳු රත්නායක සහ දුෂාන් හේමන්ත කඩුලු 4 බැගින් දවාලමින් දස්කම් දැක්වූහ.

දෙවැනි තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන පිල ඕවර 50 අවසන් වනවිට කඩුලු 8කට ලකුණු 248ක් ලබාගත් අතර, නායක දර්විෂ් රසූලි ලකුණු 155ක් රැස් කළේය. පන්දු 147ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 8ක් එක් විය. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 4ක් දවාලීමට සමත් විය. නියමිත ඉලක්කය ඕවර 41.3කදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සමත්වූ අතර, ශ්‍රී ලංකා පිල ජයග්‍රහණ දක්වා රැගෙන ගිය නායක සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 129ක් රැස් කිරිමට සමත් විය.

පන්දු 110කට මුහුණ දුන් සදීර හතරේ පහර 16කින් සහ හයේ පහර 2කින් සිය ඉනිම වර්ණවත් කළේය. ඔහුට අගනා සහයක් ලබාදුන් ආරම්භක පිතිකරු ළහිරු උදාර ලකුණු 81ක් රැස් කළේ හතරේ පහර 12ක් සමඟිනි. දෙදෙනා අතර තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 163ක් විය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT