Home » මේ ආණ්ඩුව යන්නේත් රාජපක්ෂලා ගිය පාරේමයි

මේ ආණ්ඩුව යන්නේත් රාජපක්ෂලා ගිය පාරේමයි

-පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

by sachintha
April 18, 2025 1:24 am 0 comment

ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති කඩමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (16) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව ප්‍රකාශ කළේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරයක් පේනවා. මීට පෙර රාජපක්ෂලා සිදුකළෙත් මේ දේම තමයි. රාජපක්ෂලා බලයේ සිටින කාලයේ මැතිවරණ කඩින් කඩ පවත්වන්න කටයුතු කළා. ඔවුන්ට වාසි වන ආකාරයට මැතිවරණ තිබ්බා. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට භාණ්ඩ බෙදුවා. රාජපක්ෂලාට ඡන්දය දෙන්න නැතිනම් රට සංවර්ධනය වෙන්නේ නෑ කියන කතාවත් ඔවුන් ප්‍රකාශ කළා. රාජපක්ෂලා ගිය මාර්ගයේම මේ රජය යන බව පෙනෙන්න තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට බලය නැති කාලයේ ජනතාවට ඡන්දය දාන්න ඉඩ දුන්නේ නෑ. ඒ වගේම ඉන්දියානු අගමැතිවරයා පසුගියදා ලංකාවට පැමිණ ලංකා රජය සහ ඉන්දියානු රජය සමඟ ගිවිසුම් 7ක් අත්සන් කළා. ඒ ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව යම් යම් ආන්දෝලනාත්මක කතා රටේ පැතිරෙමින් තිබෙනවා. ඒ වගේම මේ ගිවිසුම් 7 තුළ අඩංගු කරුණු කාරණා පිළිබඳව කිසිවෙක් දැනුවත් නෑ. ඒ වගේම මේ ගිවිසුම් සියල්ල දැක්කා කියා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක්වත් තවම ප්‍රකාශයක් කර නෑ. විදේශ ඇමැතිවරයා ගිවිසුම් අත්සන් කළ බවට ප්‍රකාශයක් කළත් වෙනත් කිසිම කැබිනට් ඇමැතිවරයෙක් ගිවිසුම් පිළිබඳව සෘජු ප්‍රකාශයක් කළේ නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා කියනවා ඒ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කළා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා මේ කියන්නේ අමූලික බොරුවක්. ගිවිසුම් අත්සන් කළාට පසුව දින තුනක් පාර්ලිමේන්තුව පැවැත්වුවා. නමුත් ඒ කිසිම දවසක කිසිම ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ. ජනතා විමුක්ති පෙරමුණේ පිරිස තරගෙට බොරු කියන්න පටන් අරන්. මෙහෙම ජනතාවට බොරු කිය කිය කොහොමද ආණ්ඩුවක් කරන්නේ.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7න් කිසිම ගිවිසුමක් සභාගත කර නෑ. මේ ගිවිසුම් සභාගත කළාද නැද්ද කියලා ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගෙන් අහලා දැන ගන්න කියලා අපි ටිල්වින් සිල්වා මහත්තයාට කියන්න කැමැතියි. එහෙම තොරතුරු දැනගෙන අදහස් දක්වන්න කියලා අපි ටිල්වින් සිල්වා මහත්තයාගෙන් ඉල්ලා සිටිනවා.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT