Home » ​සැඟවුණු වාර්තා සියල්ල CIDයට සැබෑ වරදකරුවන් කඩිනමින් හෙළි කරනවා
පාස්කු ඉරුදින ප්‍රහාරය:

​සැඟවුණු වාර්තා සියල්ල CIDයට සැබෑ වරදකරුවන් කඩිනමින් හෙළි කරනවා

-ජනපති පොලොන්නරුවේදී කියයි

by sachintha
April 21, 2025 1:07 am 0 comment

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සියලු ලේඛන විමර්ශනය කිරීම වෙනුවෙන් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (20) යොමු කළ බවත් මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන් ජනතාවට හෙළි කිරීමේ වගකීම ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සියලු කොටස් මෙතෙක් සමාජයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ බවත්, වත්මන් රජය බලයට පත් නොවන්නට එම ලේඛන අදටත් සැඟවී තිබෙන බවත් ජනාධිපතිවරයා කීවේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන “ජය නියතයි ගම අපිටයි” ජනහමු මාලාවේ පොලොන්නරුව ජනහමුව ඊයේ (20) පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. 2019 අප්‍රේල් සිට 2024 සැප්තැම්බර් දක්වා ගෙවී ගිය වසර පහමාර තුළ මෙම පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවා යටපත් කිරීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගෙවීගිය මාස 06 තුළ පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණ වීම සඳහා ඉතා නිරවුල්ව පියවරෙන් පියවර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතරම, ඉදිරියට ද ගනිමින් සිටින බව ද පැවසීය.

“ අද පාස්කු ඉරිදා. 2019 පාස්කු ඉරිදා තමයි බලය ලබා ගැනීමේ අරමුණින් විශාලම ඛේදවාචකය සිද්ධ වුණේ. 2019 අප්‍රේල් මාසයේ සිට මෙම 2024 සැප්තැම්බර් දක්වා ආසන්න වශයෙන් ගත්තොත් අවුරුදු පහමාරක්ම පරීක්ෂණවල අරමුණ වෙලා තිබුණෙ සැබෑ සැලසුම්කරුවන් යටපත් කරන්න. සැබෑ සැලසුම්කරුවන් හංගන්න. ඒක තමා අපේක්ෂාව වෙලා තිබුණේ. දෙදහස් දහනවයේ දී තිබුණු ආණ්ඩුවට හෝ නැවත දෙදහස් දහනවයේ නොවැම්බර්වල බලයට පත් වූ ආණ්ඩුවට කිසිසේත්ම වුවමනාවක් තිබුණෙ නැහැ මෙම සැබෑ වගඋත්තරකරුවන් නීතිය හමුවට ගෙනඑන්න. ඔවුන්ගේ අභිප්‍රාය බවට පත්වී තිබුණේ එම පාස්කු ප්‍රහාර හමුවේ සැබෑ වගඋත්තරකරුවන් සැඟවීම” යැයි ද හෙතෙම කීවේය.

“ඒ වගේම මෙම ප්‍රහාරය පිළිබඳ තැන තැන ආන්දෝලනයට තුඩු දුන් සිදුවීම් තිබෙනවා. පළමු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ ස්ථානයට ජැකට් එකක් ගිහින් දැම්මේ කවුද? එහි සැකයක් තිබෙනවා. සමහර එමි අංක තිබෙන දුරකතන අංක භාවිත කළේ කවුද කියා සැකයක් තිබෙනවා. අපි ඒ සියලු සැකයන් නිරාකරණය කරමින් පරීක්ෂණ හා විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා. මේ රටේ ජනතාවට පාස්කු ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන් හෙළි කිරීමේ වගකීම අපි ඉටු කරනවා” යැයි ද පැවසුවේය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT