Home » ලියන්ගහවෙල රතුපස්වල නායයයි බෙරගල වැල්ලවාය මාර්ග යළි ඇරේ

ලියන්ගහවෙල රතුපස්වල නායයයි බෙරගල වැල්ලවාය මාර්ග යළි ඇරේ

by sachintha
April 21, 2025 1:02 am 0 comment

බණ්ඩාරවෙල පූනාගල ප්‍රධාන මාර්ගයේ ලියන්ගහවෙල රතුපස්වල ප්‍රදේශයේ මාර්ගය ඊයේ (20) නාය යෑමට ලක්වීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇතැයි ලියන්ගහවෙල පොලීසිය පවසයි.

පූනාගල මාර්ගයේ මීටර් 20ක පමණ කොටසක් අඩි 30ක පමණ උසට කඩාගෙන ගොස් ඇති අතර එම ස්ථානයේ මාර්ගය ද ඉරිතළා පුපුරා යෑමෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගය නාය යෑමට පටන් ගෙන ඇත. මේ හේතුවෙන් පස්කඳු ගල්පර්වත කඩා වැටීමෙන් ලියන්ගහවෙල පරණ රෝහල් අතුරු මාර්ගය ද වැසී ගොස් තිබේ.

නාය යෑමට ලක්වූ ස්ථානයේ දැනට එක් මංතීරුවක් පමණ රථවාහන ධාවනය සඳහා වෙන්කර ඇති බවත් පවතින වර්ෂාවත් සමඟ එම ස්ථානයේ රථවාහන ධාවනය අනතුරුදායක බවත් පොලීසිය පැවසීය. මේ අතර බෙරගල වැල්ලවාය මාර්ගයේ විහාරගල කි.මී. 184 කණුව ආසන්නයේ 19 දින අලුයම නාය යෑම නිසා මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති විය. ප්‍රදේශවාසීන් එක්ව එක් මංතීරුවක් ගමනාගමනයට සුදුසු ආකාරයෙන් සකසා දීමෙන් පසුව දහවල් වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගයට වැටී තිබූ ගල් හා පස් ඉවත්කර මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට කටයුතු කරන ලදි.

හල්දුම්මුල්ල ප්‍රදේශයේදී කඩවත සිට බණ්ඩාරවෙල බලා ගමන් කරමින් තිබූ මෝටර් රථයකට මාර්ගයේ ඉහළ සිට පෙරළී ආ ගල් කිහිපයක් වැදීමෙන් එම රථයට අලාභ හානි සිදු විය. එම අවස්ථාවේදී රථය තුළ තරුණයන් සිවු දෙනෙක් සිට ඇති නමුත් ඔවුන්ට අනතුරක් සිදු නොවූ බව හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කරයි.

එදින සන්ධ්‍යා කාලයේ බදුල්ල ප්‍රදේශයට තද වැසි ඇද හැළුණු අතර, හාලිඇළ ප්‍රදේශයට ද එම වැසි තත්ත්වය බලපෑවේය. එහිදී හාලිඇළ දුම්රිය මාර්ගයට පිවිසෙන පිවිසුම් මාර්ගය, (හාලිඇළ උණුගොල්ල මාර්ගය ද) ජලයෙන් පිරී යෑම නිසා රථ ධාවනයට බාධා පැමිණි බව ද වාර්තා වේ.

වාර්තා වන ආකාරයට එම කාලගුණික තත්ත්වය නිසා වැලිමඩ ,අඹේවෙල ,හෙවනකුඹුර ,තෙන්නකොන්වෙල, හිඹිලියගොල්ල, බොරගස්, සිල්මියාපුර ඇතුළු ග්‍රාම සේවා වසම් ගණනාවක වගා ජලයෙන් යටවීම, කුඹුරු ඉඩම්වලට වැලි කඳු ගොඩ ගැසීම, ග්‍රාමීය මාර්ගවලට හානි සිදුවීම හා කුඩා පාලමක් ජල පහරකට හසුව ගසා ගෙන යෑමත් මෙන්ම කැප්පෙටිපොළ නගරවසම හරහා ගලා යන කන්දේ ඇළ කුණු කසළ හිර වීමෙන් ඇළ මාර්ගය අවහිර වී ගෙවල් 5කට හානි සිදුව තිබිණි.

කැප්පෙටිපොළ පොලීසිය විසින් එම නිවෙස් හිමියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත. වැලිමඩ නුවරඑළිය මාර්ගයට ද ඉන් බලපැම් ඇතිව තිබීම මත තත්ත්වය කළමනාකරණය කොට මාර්ගයේ ගමනාගමනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කැප්පෙටිපොළ පොලීසිය කටයුතු කර තිබිණි.

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේදී පස්වරු 5ට පමණ හදිසි නාය යෑමක් නිසා මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇත.

එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බැකෝ යන්ත්‍රයේ සිටි යන්ත්‍ර ක්‍රියාකරුවන් ක්ෂණිකව මැදිහත්ව මාර්ගයට පතිත වූ පස් හා ගල් ඉවත් කිරීම නිසා ගමනාගමනයට බාධාවක් ඇති නොවීය.

සී.ගමගේ සොරණාතොට සමූහ

බදුල්ල සමූහ – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT