Home » “පහේ වැව” ආකමණශීලි ජලජ ශාකවලින් වැහිලා

“පහේ වැව” ආකමණශීලි ජලජ ශාකවලින් වැහිලා

by chanaka
April 21, 2025 11:47 am 0 comment

මැදවච්චය - සජිත් ගයාන් උබේපාල

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මන්නාරම් හන්දිය “පහේ වැව” වසර ගණනාවක් පුරා කිසිදු ප්‍රතිසංස්කරණයක් නොවීම හේතුවෙන් ආක්‍රමණශීලී ජලජ ශාකවලින් වැසී ගොස් විනාශ වීමේ අවධානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම වැව මගින් නිකුත් කරන ජලයෙන් කුඹුරු අක්කර 900කට වැඩි ප්‍රමාණයක් යල සහ මහ දෙකන්නයම අස්වද්දන බවත් අක්කර 100ට ආසන්න ප්‍රමාණයක් පුරාවට ඇති මෙම වැව වර්තමානය වන විට ගොඩවී ජලජශාක වලින් වැසී ගොස් ජලය කිසිසේත්ම මෙම වැවෙහි රදවා ගැනීමට නොහැකි ආකාරයට මේවන විට පත්ව ඇති බව ද ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙති.

මෙම “පහේ වැව” මේ වනවිට ගොවීන්ගේ ගොවිතැන් කටයුතු කර ගැණීම සදහා සහ ගම්වාසීන්ගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීමටවත් නොහැකි අන්දමට වැසී ගොස් ඇත. විටෙන් විට රජරට වැව ඉලක්ක කරගනිමින් දේශපාලන අධිකාරිය විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළඳ මෙම වැව එම පිඹුරුපත් වල නොතිබීම ජනතාවගේ අවාසනාවකි. ඒ අනුව මෙම වැව ජපන්ජබර,පාසි සහ වෙනත් ආක්‍රමණශීලී ජලජ ශාකවලින් මුළුමනින්ම ආක්‍රමණයට ලක්ව වැසී ගොස් ඇත.

මේ පිළිබඳ අවධානය යොමු කරමින් මෙම වැව අදාල බලධාරීන්ගේ මැදිහත්වීම තුළින් ගම්වාසීන්ට එදිනෙදා කටයුතු කරගෙන යාමට සුදුසු පරිදි නැවත සකසා දෙන ලෙස ගම්වාසීහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT