Home » පිල්ලෙයාන් වෙනුවෙන් ගම්මන්පිල පෙනීසිටීම ඔහුට ඇති අයිතියක්

පිල්ලෙයාන් වෙනුවෙන් ගම්මන්පිල පෙනීසිටීම ඔහුට ඇති අයිතියක්

-එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක

by sachintha
April 22, 2025 1:33 am 0 comment

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙනුවෙන් ගම්මන්පිල මහතා පෙනීසිටීම ඔහුට ඇති අයිතියක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

කඩුවෙල නගර සභාව ඉදිරිපිට 19 වැනි දින පැවති හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.

“ගම්මන්පිල මහතා කරන දේවල්වලට අපි වගකියන්නේ නෑ. ඔහු කරන දේවල්වලට ඔහුම වගකියයි. එය අනාගතයේදී තීරණය වෙයි. සද්භාවයෙන් ද, අසද්භාවයෙන් ද, ඔහු සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෙක් ද, එහෙම නැත්නම් ඔහුගේ වෙන දේශපාලන අරමුණු තිබුණ ද කියලා අනාගතයේ හෙළිදරව් වෙයි. ඒක ඔහුට අයිති කාර්යයක්” යැයි ඒ මහතා කියා සිටියේය.

චම්පික රණවක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තියෙනවා ඔහු නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා පැහැරගෙන ගිහිල්ලා මරා දැම්මයි කියන චෝදනාව මත.

එහෙම ඔහු කරලා තියෙනවා නම්, ඒ ගැන සාක්ෂි රහස් පොලීසියට තියෙනවා නම්, අත්අඩංගුවට ගැනීමේ ඒ ක්‍රියාව අපි අනුමත කරනවා. ඒක තමයි විය යුතු දේ. හැබැයි අපි කියනවා ඒ අතරේ, මේ රටේ මරා දාපු එකම උපකුලපතිවරයා නැඟෙනහිර උප කුලපතිවරයා නෙවෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර මහත්තයාව මරා දැම්මා. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති පටුවන විතාන මහත්තයාව මරා දැම්මා. ඒ වැදගත් වෘත්තීයවේදීන් තමන්ගේ කාර්යාලවලදීම මරා දැම්මා.

රහස් පොලීසිය හා පොලීසිය අවංක නම් මේ පරීක්ෂණ ගැනත් සෙවිය යුතුයි. විශේෂයෙන්ම මේ ගැන තොරතුරු ඕනෑනම් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට ගිහිල්ලා ටිල්වින් සිල්වා මහත්තයාගෙන් ඇහුවා නම්, ඒ ගැන තොරතුරු ලබාගන්න පුළුවන්.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT