පුද්ගලික හා අර්ධ රාජ්‍ය මට්ටමින් පඩි වැඩි වීම සම්බන්ධයෙන් සාමූහික ගිවිසුම්වල වැදගත්කම සම්බන්ධයෙන් අන්තර් සමාගම් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් පී. හෙට්ටිආරච්චි මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක් ඇසුරිනි.
වැඩ කරන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩ නැඟුණු අණ පනත් බොහොමයක් පවතී. සේවක අරමුදල් පනත, අර්ථ සාධක අරමුදල් පනත, කාර්මික ආරවුල් පනත, භාරකාර අරමුදල් පනත, සේවය අවසන් කිරීමේ පනත ආදී වශයෙනි. මෙම පනත් අතරින් කාර්මික ආරවුල් පනත ඉතාමත් වැදගත් වේ. මෙම කාර්මික ආරවුල් පනත ගොඩනැඟී ඇත්තේ කාර්මික ආරවුලක් සිදු වූ විට එය විසඳා ගන්නේ කෙසේද යන ආකාරයටයි. එහි පාර්ශ්වකරුවන් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව සහා හාම්පුතුන් ඇත. යම්කිසි ආයතනයක් තුළ කාර්මික ආරවුලක් සිදු වූ විට එම ආයතනයේ නිෂ්පාදනයන් බිඳ වැටේ. එලෙසම උද්ඝෝෂණ, වැඩ වර්ජන ආදිය සිදු වේ. අතිකාල සේවය සිදු නොකර අඩුවෙන් වැඩ කිරීමක්ද සිදුවේ. මෙය මෙහෙයුම් ක්‍රියාවලියට විශාල බාධාවක් වේ. මේ ආකාරයෙන් සාමූහික ගිවිසුම් ගත් කළ ලෝකයේ දියුණු රටවල සේවකයා අතර පමණක් නොව සේවකයාගේ පවුල් පරිසරය තුළද මෙම සාමූහික ගිවිසුම් සම්බන්ධ වෙයි. එහිදී වැඩ බිමෙන් ඔබ්බට මවුපියන්, දරුවන් ආරක්ෂා වන ආකාරයට ද සාමූහික ගිවිසුම් නිර්මාණය කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ නොපැවතුණ ද ලෝකයේ බොහෝ දියුණු රටවල්වල පවතින ක්රමයකි. ශ්‍රී ලංකාවේ අන්තර් සමාගම් සේවක මණ්ඩලය විසින්ද මේ සම්බන්ධයෙන් කටයුතු සාකච්ඡා මට්ටමේ පවතී. තවත් එය ක්‍රියාත්මක තලයට පැමිණ නැත.
සාමාන්‍යයෙන් සාමූහික ගිවිසුමක් ක්‍රියාත්මක වන්නේ වසර තුනක කාලයක් තුළය. වැදගත් වන්නේ සාමාන්‍ය කම්කරු නීතියට එහා ගිය කොන්දේසි යොදාගත හැකිය. එහෙත්, සාමාන්‍ය කම්කරු නීති උල්ලංඝනය නොවිය යුතුය. නමුත් සාමාන්‍ය කම්කරු නීතියේ තිබෙන ප්‍රතිපාදනවලට වඩා වැඩි ප්‍රමාණයක් සාමූහික ගිවිසුම් හරහා යෝජනා කර ගත හැකිය. සාමාන්‍ය නීතියෙන් එයට බාධාවක් ඇති නොවේ. සාමාන්‍ය කම්කරුවෙකුගේ අවම වැටුප ගත්කල පෙර පැවතියේ රුපියල් 10,000කි. නමුත් වර්තමානයේ එය 27,000ක් දක්වා වර්ධනය වී ඇත. මෙම සාමාන්‍ය කම්කරුවෙකුගේ අවම වේතනය සාමූහික ගිවිසුම් හරහා වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී. සරලවම සාමූහික ගිවිසුමකින් සිදුවන්නේ කාර්මික ආරවුල්වලින් තොරව නිෂ්පාදන ක්‍රියාවලිය හාම්පුතුන් හා සේවකයන් යන දෙපාර්ශ්වය හා වෘත්තීය සමිති, කම්කරු දෙපාර්තමේන්තුව, එකමුතුව සිදු කරනු ලබන එකඟතාවන්ය. මෙම පනතෙහි පවතින ආකාරයට සාමූහික ගිවිසුමේ අයිතිකාරයා වන්නේ එසේත් නැත්නම් වගකිව යුත්තා වන්නේ කම්කරු කොමසාරිස්වරයා වීමයි. එයට හේතුව වන්නේ මෙය ගැසට් කරනු ලබන්නේ කම්කරු කොමසාරිස්වරයාය.
ගැසට් කිරීමෙන් පසු මෙය රටෙහි නීතියක් බවට පත්වේ. එලෙසම සාමූහික ගිවිසුමෙහි ඇති තවත් වැදගත් කාරණයක් නම් රටෙහි පවතින්නා වූ ආර්ථිකය උද්ධමන වේගය අනුව වැටුප් තීන්දු කිරීම සිදුවේ. උද්ධමනයට සාපේක්ෂව වැටුප් වැඩිවීම සිදුවේ. එනම් එහිදී සාමූහික ගිවිසුමෙහි ප්‍රධාන ඉලක්කයක් බවට උද්ධමන වේගය පත්වේ. නිරන්තරයෙන්ම රටෙහි උද්ධමන වේගය සමඟ පඩි වැඩිවීම සමපාත විය යුතුයි. එතුළින් රටෙහි ප්‍රශ්න ගැටලු මතුවීම අවම කරගත හැකිය. එහිදී හාම්පුතුන් වෘත්තීය සමිති හා සේවකයින් එකමුතුව නිවැරදි සාමූහික ගිවිසුම්වලට එළඹිය යුතුය. රටෙහි ආර්ථික වර්ධනයේ අනුපාතය, උද්ධමන වේගය, ආර්ථිකය ආදී සියලු කරුණු කාරණා මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මේ ආකාරයෙන් කියැවෙන සාමූහික ගිවිසුම් සංකල්පය වූ කලී ඉතා වැදගත් සංකල්පයකි.
නිසංසලා කොට්ටගස්වත්ත