ගෝලීය පරිමාණයෙන් දිනෙන් දින ඉහළ යන ආනයනික බදු අභියෝග සහ වෙළඳ ආතතීන් මධ්‍යයේ, චීනයේ සංවර්ධන දර්ශනය ගෝලීය දකුණේ බොහෝ රටවල් සඳහා බලගතු විකල්පයක් මාවතක් විවර කරයි. අමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන පසුබිමක, චීනයේ ප්‍රවේශය සහයෝගීතාවය, නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය අවධාරණය කරයි. චීනය විසින් අනුගත මෙම ප්‍රතිපත්ති එරට ආර්ථික වුවමනා එපාකම් ඉටුකර ගැනීමට පමනක් නොව බෙහෙවින් සංකීර්ණ ගෝලීය භූදර්ශනයක ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ජීවනාළියක් බවට පත්වන්නේ කෙසේද යන්න විමසා බැලීම මේ විශ්ලේෂනයේ අරමුණයි.
ඓතිහාසිකව ගත් කළ, තීරුබදු ද්විත්ව භූමිකාවන් ඉටු කළේය: එනම්, ආදායම් උත්පාදනය සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කරදීම ය. කෙසේ වෙතත්, වර්තමානයේ ඒවා වඩාත් උපායමාර්ගික ලෙස යොදා ගන්නා අතර, බොහෝ විට සාකච්ඡා වලදී වැඩි කේවල් කිරීමේ බලයක් ලබා ගැනීමට හෝ දේශීය ස්වායත්තතාවය දිරිමත් කිරීමට බොහෝ ජාතීහු භාවිතා කරති. එහිලා බලවත් කාර්මික ජාතීන් තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා ආනයනික බදු අවියක් ලෙස යොදා ගන්නා අතර, සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් ආනයනික බදුවල බලපෑම සමඟ දුෂ්කර සටනක නිරතව සිටී. මක් නිසාද යත්, ඉහළ යන ආනයන පිරිවැය, පීඩාවට පත් සැපයුම් දාම සහ අත්‍යවශ්‍ය තාක්ෂණයන් සඳහා ඇති සීමිත ප්‍රවේශය එම රටවල ආර්ථික ප්‍රගමනයට බාධාකාරී වන බැවිනි.
මුළුමහත් ලෝකයටම එරෙහිව ආනයනික බදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගෙන ඇති තීරණය ගෝලීය ආර්ථිකය එහි මූළික හරය දක්වාම හෙල්ලුම් කෑමට හේතුවී තිබේ. නිදහස් හා සාධාරණ වෙළඳාම යථා තත්වයට පත්කිරීමට බැව් පවසමින් ට්‍රම්ප් විසින් අනුගමණය කරන මේ වෙළෙඳ ප්‍රතිපත්ති ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්වම කලාපීයකරණ ප්‍රවණතා තීව්‍ර කොට, අවසානයේ ලෝකය වෙළඳ කණ්ඩායම් එකතු කිහිපයකට බෙදීයාමේ ප්‍රවණාතවය වේගවත් කළ හැකිය. ට්‍රම්ප්ගේ මෙම වෙළෙඳ ප්‍රතිපත්ති යටින් දිවෙන, එහෙත් අප්‍රකාශිත අරමුණු කිහිපයකි.
පළමුවැන්න නම්, ගෝලීය සැපයුම් දාමයන් අත සෙසු රටවලට ඇති බලය අභියෝගයට ලක් කරමින් අමෙරිකා එක්සත් ජනපදයේ සැපයුම් දාමයන් හි සෛවරීභාවය ශක්තිමත් කිරීමයි. අනෙකුත් රටවල් ඒ මත ඇති බලය ඉවත් කිරීම සඳහා එක්සත් ජනපදයේ සැපයුම් දාම ස්වෛරීභාවය ශක්තිමත් කිරීමයි. දෙවන ඉලක්කය පළමුවැන්න මතම පදනම් වන අතර අමෙරිකානු ආනයනික බදු බලපෑමට ලක්ව සිටින සෑම රටකටම වොෂිංටනය සමඟ ඔවුන්ගේ ද්විපාර්ශ්වික සබඳතා නැවත සාකච්ඡා කිරීමට පොළඹවාලීමයි. ඒ සඳහා ලබාදී ඇති සහණ කාලය තුළ එක්සත් ජනපදය තෝරා ගත් රටවල් සහ භාණ්ඩ සඳහා යම් යම් සහන ලබාදීමට ඉදිරිපත් විය හැකිය. ඒ අතරම තම ප්‍රධානතම වෙළෙඳ ප්‍රතිවාදියා වන චීනයෙන් ගෝලීය දකුණේ රටවල් ඈත් කොට තැබීමට ද මෙම ආනයනික බදු අවියක් ලෙස යොදා ගැනීමේ යටි අරමුණක් වොෂිංටනයට පවති බැව් පෙනේ. එහි අවසන් අරමුණ චීනය එහි විදේශ වෙළඳාමෙන් කපා හැරීමෙන් දුර්වල කිරීමයි. අවසාන වශයෙන්, නැගී එන ලෝක පර්යාය යළි හැඩගැස්වීමේ ක්‍රියාකරුවෙකුගේ භූමිකාව සියතට ගැනීමේ වුවමනාවක් ද වොෂිංටනයට ඇත. ඒ සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගෝලීය ආර්ථිකය එහි හරය තෙක් සොලවා පවත්නා ගෝලීය ආර්ථික පර්යායේ බිඳ වැටීම කඩිනම් කිරීමට වොෂිංටනය උත්සාහ දරයි.
චීනයේ සංවර්ධන සංකල්පය: නවීකරණය සඳහා නව මාවතක්
කලක් දිළිඳු කෘෂිකාර්මික සමාජයක් ලෙස පැවති චීනය, සුවිශේෂී නවීකරණ ක්‍රියාවලියක් හරහා මේ වන විට ලොව දෙවන විශාලතම ආර්ථිකය ලෙස ඉදිරියට පැමිණ තිබේ. නවෝත්පාදනය, සම්බන්ධීකරණය, හරිත සංවර්ධනය, විවෘතභාවය සහ බෙදාගැනීම යන ප්‍රධාන මූලධර්ම පහෙන් සාරාංශ කොටගත් චීනයේ වර්තමාන සංවර්ධන උපාය මාර්ගය සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් බැරෑරුම් ලෙස අවධානය යොමු ඇති මාර්ග සිතියමක් ඉදිරිපත් කරයි.
ලිබරල්කරණය, නියාමන ඉවත් කිරීම සහ ප්‍රාග්ධන කේන්ද්‍රීය ගෝලීයකරණය මත රඳා පවතින සම්භාව්‍ය බටහිර ආකෘතිය මෙන් නොව, චීනයේ ආකෘතිය රාජ්‍යයේ නායකත්වයෙන් යුත් සැලසුම්කරණය කේන්ද්‍රයේ තබයි. තවද එය යටිතලව්‍යුහ පහසුකම් සංවර්ධනය, තාක්ෂණික දියුණුව සහ සමාජ ස්ථාවරත්වය පෙළගස්වයි. සියළු දෙනා ඇතුළත් කොටගත් සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය අවධාරණය කිරීම දිගු කාලීන සංවර්ධනය සඳහා වන චීන ප්‍රවේශය තුළ කැපී පෙනේ. කෙටි කාලීන ආර්ථික දර්ශක කෙරෙහි අවධානය යොමු කරමින් පිටස්තර උපදෙස් යටතේ බොහෝ ජාතීන් අනුගමනය කර ඇති තිරසාර නොවන මාර්ගවලට මෙය හාත්පසින්ම වෙනස් වූවකි.
මූල්‍ය ආධාර, යටිතල පහසුකම් සඳහා ආයෝජන සිදුකිරීම සහ ධාරිතාවයන් ගොඩනැගීමට අදාළ මුලපිරීම් ලබා දීමෙන් චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල සැලකිය යුතු හවුල්කරුවෙකුගේ භූමිකාව ඉටුකරමින් සිටී. තීරයක් මාවතක් මුලපිරුම (BRI) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) වැනි වැඩපිළිවෙල සහ ආයතන මෙන්ම ද්විපාර්ශ්වික එළැඹගත් බොහෝ ගිවිසුම් සමඟ, චීනය අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව පුරා තිරසාර සංවර්ධන ව්‍යාපෘතිවලට ක්‍රියාකාරී සහයෝගයක් දක්වයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝ විට මුහුණ දෙන ආයෝජන පරතරය පියවීම මෙම මුලපිරීම්වල මූළික අරමුණ වන අතර, එමඟින් චීනයේ මූලික සංවර්ධන දර්ශනයට අනුකූල වන අභිලාෂකාමී සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට එම රටවලට ඉඩප්‍රස්ථාව උදාවේ.
එක්සත් ජනපද ප්රවේශය: තීරුබදු සහ හෙජමනික ආධිපත්‍ය පතුරුවාලීම
චීනයේ සහයෝගීතා රාමුවට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ, අමෙරිකා එක්සත් ජනපද ප්‍රවේශය ආරක්ෂණවාදය සහ තීරුබදු පැනවීම දෙසට වැඩි නැඹුරුවක් දක්වයි. වොෂිංටනය ගෝලීය තලම මත තම ආධිපත්‍ය ස්ථාවරව පවත්වා ගෙන යෑමට සහ තරඟකාරිත්වය වැළැක්වීමට උපාය මාර්ගයක් ලෙස එය සූක්ෂම ලෙස යොදා ගනී. ආනයන සඳහා තීරුබදු පැනවීමෙන් ආර්ථික හා දේශපාලන යන අරමුණු දෙකම ඉටු කරගැනීමට අමෙරිකා එක්සත් ජනපදය දරන මෙම උත්සාහය තුළ බොහෝ විට දේශීය කර්මාන්ත විදේශීය තරඟකාරිත්වයෙන් ආරක්ෂා කරගැනීමේ වුවමනා එපාකම් පවතී. කෙසේ වෙතත් වොෂිංටනයේ මේ ක්‍රියා කලාපය සිය වෙළඳ හවුල්කරුවන් සමඟ එක්සත් ජනපද විසින් මෙතෙක් පවත්වාගෙන ගිය සබඳතා පීඩාවට පත් කරනවා පමණක් නොව, ජාතීන් අතර විශ්වසනීයත්වයට ද බාධා පමුණුවයි. මෙම ආනයනික බදු අභියෝගවල බලපෑම අන්තර් සම්බන්ධිත ගෝලීය ආර්ථිකයක් තුළ සමෘද්ධිමත් වීමට දරන ප්‍රයත්නයෙහිලා විවෘත වෙළඳපොළවල් මත රඳා පවතින ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධන අපේක්ෂාවන්ට බාධාවක් විය හැකිය.
මීට වෙනස් මඟක් ගත්, චීනයේ ප්‍රවේශය සියළු පාර්ශවවලට අන්‍යෝන්‍ය ප්‍රතිලාභයෙන් යුත් සහයෝගීතාවයක් ප්‍රවර්ධනය කරයි. ආනයනික බදු පැනවීම ගෝලීය නිෂ්පාදන ඡාලා කඩාකප්පල් කරයි, පාරිභෝගියන් සඳහා මිල ඉහළ නංවයි, තවද බිඳෙනසුලු ආර්ථිකයන්ට තවදුරටත් අවිනිශ්චිතතාවයක් පමුණුවයි. ඒ අනුව, ගෝලීය දකුණේ රටවලට, තම ඉදිරි සංවර්ධන ගමනෙහිලා විකල්ප වැඩපිළිවෙල කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව තිබේ. චීන ජනාධිපති ෂී ජිංපින් එක්සත් ජනපද ආනයනික බදු අභියෝගයට මුහුණ පා සිටින වියට්නාමය, මැලේසියාව සහ කාම්බෝජය යන රටවල පසුගියදා කළ චාරිකාව තුළ චීනයේ මෙම ආර්ථික දැක්ම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවිය. මේ රටවල් තුනම චීනයේ කලාපීය සංවර්ධන මුලපිරීම් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධව සිටී. චීනයේ සංවර්ධන දර්ශනය තුළ අන්තර්ගත වන බහුපාර්ශවික සහයෝගීතාවයේ සහ විවිධාංගීකරණයේ වැදගත්කම එමගින් අවධාරණය කෙරේ. මෙය සැබෑ ලෙසම ගෝලීය දකුණේ රටවල මතුවන වඩාත් පුළුල් නව ප්‍රවණතාවයක් පිළිබිඹු කරයි: එනම්, භූ දේශපාලනික වශයෙන් තවත් රටක් මත යැපීමට වෙනුවට තිරසාර සංවර්ධනයක් පෝෂණය කරන හවුල්කාරීත්වයක් සඳහා වැඩිවන කැමැත්තයි.
චීනයේ සංවර්ධන දර්ශනය, සංවර්ධිත ජාතීන්ගේ ආනයනික බදු සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති මගින් එල්ල වන අභියෝගවලට මුහුණ පා සිටින ගෝලීය දකුණේ රටවලට බෙහෙවින් ඵලදායී වූ රාමුවක් සපයයි,. නවෝත්පාදනය, සම්බන්ධීකරණය, හරිත සංවර්ධනය, විවෘතභාවය සහ බෙදාහදාගැනීම යනාදී ගුණාංග පෝෂණය කිරීමෙන් චීනය තම වර්ධන න්‍යාය පත්‍රය ඔස්සේ ඉදිරියට ගමන් කරනවා පමණක් නොව, සංවර්ධනය වෙමින් පවතින රටවලට තෝරා ගත යුතු සහයෝගීතා මාවතක් ද ලබා දෙයි. ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වන භූ දේශපාලනික භූ දර්ශනයක ගමන් කරන විට, මෙම විකල්ප ආදර්ශය වැළඳ ගැනීමෙන් ගෝලීය දකුණේ රටවලට තම ආර්ථික දියුණුව සහ තිරසාරභාවය සඳහා නව ඉඩප්‍රස්ථාවන් විවර කරගත හැකිය.