Home » ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියට පිය පුතු දෙපලක් ගැන සැකයක් – විදෙස් ගමන් තහනමකුත් පැනවෙයි

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියට පිය පුතු දෙපලක් ගැන සැකයක් – විදෙස් ගමන් තහනමකුත් පැනවෙයි

by chanaka
April 23, 2025 6:41 pm 0 comment

කල්පනි අබේසිංහ

සමාජ ක්‍රියාකාරී ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පිය පුතු දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද(23) නියෝග කළේය.

බන්දුල පියාල් සහ මාධව සුදර්ශන යන පිය පුතු දෙදෙනාට මෙලෙස විදෙස් ගමන් තහනම් කරන ලෙසට නියෝග කෙරෙනු අතර ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමටද නියෝග කෙරිණි.

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පිය පුතු දෙදෙනකු සම්බන්ධ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී පෙනී යන බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරන ලදී.

කොලොන්නාව ලක්සද සෙවණ මහල් නිවාස සංකීර්ණයක සාදයක නිරත වී සිටියදී සහසික වෙඩි ප්‍රහාරයකට ලක්වු ඩෑන් ප්‍රියසාද් නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා වෙත ඒ බව පැවසීය.

රොබට් ගුණවර්ධනලාගේ චින්තිකා නැමැත්තිය විසින් වැල්ලම්පිටිය පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබිණි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ, සිද්ධියට අදාළව එම ස්ථානයේ සිටි පුද්ගලයන් දස දෙදෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.

ඝාතනයට ලක් වූ මෙම තැනැත්තාගේ සහෝදරයා වන තිළිණ ප්‍රසාද් නමැත්තා මීට වසර කිහිපයකට පෙර කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පිය පුතු දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින බව පොලිසිය අධිකරණයට කරුණු දැක්විය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ පස්වරුවේ ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයාගේ දේහය රදවා තිබෙන කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය සහ සිද්ධිය සිදුවූ ස්ථානය නිරීක්‍ෂණයට ලක් කරන ලදී.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස්‌ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT