Home » චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් කථානායක හමුවෙයි

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් කථානායක හමුවෙයි

by sachintha
April 23, 2025 1:02 am 0 comment

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උපසභාපතිවරයා වන ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනතාවගේ අභිලාෂයන් ආරක්ෂා කිරීමට, විශේෂයෙන් දූෂණ විරෝධී බව, යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී අවධාරණය කළේය. මේ සඳහා රටේ දූෂණ විරෝධි රාමුව ශක්තිමත් කිරීම අරමුණු කරගත් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෑතකදී සම්මත කරනු ලැබූ බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වය ඇගයීමට ලක් කළ කථානායකවරයා, වසර ගණනාවක් පුරා චීනය අඛණ්ඩව ලබා දුන් සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය.

මෙය ශ්‍රී ලංකාවේ සිදු කළ සිය පළමු සංචාරය බව සඳහන් කළ ෂැං ක්වාන් මහතා, එහිදී ශ්‍රී ලංකාවේ ජනතාව විසින් දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය ගෞරවපූර්වකව සිහිපත් කළේය. කොළඹ වරාය නගරයේ කළ සංචාරය ගැන සඳහන් කළ ඔහු, එය දෙරටටම දිගුකාලීන උපායමාර්ගික වටිනාකමක් ඇති වැදගත් සංවර්ධන ව්‍යාපෘතියක් බව ද පැවසීය.

විද්‍යාව, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගිතාව මෙන්ම විශේෂයෙන් ෂැංහයි සමඟ මෙරට සබඳතාව වැඩිදියුණු කිරීම මෙම සංචාරයේ අරමුණ බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

කෘෂිකර්මාන්තය, තාක්ෂණය සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම රැස්වීමට සහභාගි වූවාය.

ස්වර්ණා විජේකෝන්,

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT