Home » පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 10කට නව නිවාස

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 10කට නව නිවාස

by sachintha
April 23, 2025 1:25 am 0 comment

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සංකල්පයක් අනුව පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල් 10කට නව නිවාස ලබා දීම පෙරේදා (21) කටුවපිටිය සාන්ත සෙබස්තියන් නිවාස ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ සිදු කර තිබේ.

මෙම නිවාස ප්‍රදානයට නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ද, රාජ්‍ය නිලධාරීන්, සහායක රදගුරු හිමිපාණන්වරුන් සහ පදවියේ පූජක සංඝයා ද සහභාගි වූහ. පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුව වසර හයක් සම්පූර්ණ වන මේ මොහොතේදී වින්දිතයන්ගේ රැකවරණය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් පර්චස් අසූවක ඉඩමක් මිලදී ගැනීමට හා සංවර්ධනය කිරීමට රුපියල් මිලියන තිස් හතරක් වැය කරනු ලැබ ඇත. මෙහි එක් නිවෙසක් සඳහා රුපියල් මිලියන හයයි දශම තුනක් වැය කර තිබෙන අතර ජාතික නිවාස අධිකාරිය රුපියල් මිලියන 12ක් ලබා දීමට ගිවිසුම්ගත වී තිබෙන බවද දැනගන්නට ලැබේ. එය අදියර තුනක් යටතේ ලබා දෙන අතර, නිවාස ප්‍රදානය සිදු කෙරුණු පෙරේදා (21) පළමු අදියර ලෙස රුපියල් මිලියන හතයි දශම දෙකක් රජයෙන් ලබා දීමට නියමිතව තිබිණි. මෙම නිවාස ව්‍යාපෘතියේ ඉතිරි මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම හා අධීක්ෂණය කාරිටාස් සෙත්සරණ සංවිධානයෙන් සිදු කර තිබේ. එම නිවාස ව්‍යාපෘතියට එම ආයතනයෙන් රුපියල් මිලියන 14ක් සපයා දී ඇති අතර, යටිතල පහසුකම් ද ඊට අයත්ය. රදගුරු මැදුරෙන් රුපියල් මිලියන 77ක් මේ වන විට ලබා දී තිබෙන අතර, කතෝලික සභාව ප්‍රකාශ කරන්නේ, පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබසාධනය වෙනුවෙන් තවදුරටත් ක්‍රියා කරන බවයි.

කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT