022 ජන අරගලයත් සමඟ, ජාතිය සහ ආගම විකුණා බලයට පත්වීම එක්තරා ආකාරයකට බල රහිත වී ඇත. මෙයින් කියැවෙන්නේ ජාති ආගම් බෙදීම් අහෝසි වී ඇති බව නොවේ. ඒ වෙනුවට, මැතිවරණ ව්‍යාපාර තුළ ජාතියේ සහ ආගමේ වැදගත්කම හීන වී ඇති බවයි.
අපට මතක ඇති කාලයක පටන් ලංකාවේ පැවති මැතිවරණ බහුතරයක් ජාතිය සහ ආගම උලුප්පා දැක්වූ ඒවා වූ අතර, දේශපාලන පක්ෂ බලයට පත්වූයේ ජාති ආගම් බෙදීම් මතිනි. එනම්, ලංකාවේ පහුගිය මැතිවරණ බොහෝමයක ඡන්ද පදනම රඳා පැවතුණේ ජාතිය සහ ආගම මත ය. ඒ නිසාම, ඒ මැතිවරණ ආසන්න කාලයේදී විවිධ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා ජාතීන් සහ ආගම් අතර බෙදීම් ඇති කිරීමට මෙම දේශපාලන පක්ෂ ක්‍රියා කරන ලදි.
නමුත් 2022 ජන අරගලයත් සමඟ, ජාතිය සහ ආගම විකුණා බලයට පත්වීම එක්තරා ආකාරයකට බල රහිත වී ඇත. මෙයින් කියැවෙන්නේ ජාති ආගම් බෙදීම් අහෝසි වී ඇති බව නොවේ. ඒ වෙනුවට, මැතිවරණ ව්‍යාපාර තුළ ජාතියේ සහ ආගමේ වැදගත්කම හීන වී ඇති බවයි. නමුත් තවමත්, සමහර දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් මේවා උලුප්පා දැක්වීමට උත්සහ කරන බවද දැකිය හැකි ය.
අපගේ අනන්‍යතාව බොහෝ විට නිර්මාණය වී ඇත්තේ ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, රැකියාව, වැනි ලේබල් සමඟ ය. සමාජයේ ජීවත්වන අනෙකුත් පුද්ගලයින් අපව ස්ථානගත කරගන්නේ මේ ලේබල් හරහා ය. නමුත් අප කවුද යන්න, වෙනත් ආකාර වලින්ද ප්‍රකාශ කිරීමේ හැකියාව අපට ඇත. එනම් අපගේ මතවාද, අප ජීවිතයේදී කිරීමට ආශා කරන දේ වැනි තවත් බොහෝ ප්‍රබල අනන්‍යතා අපට තිබිය හැකි ය. නමුත් අප බොහෝ විට අපව හඳුන්වා ගැනීමට යොදා ගන්නේ, රාජ්‍ය විසින් සංගණන හා වෙනත් ජනයා පිළිබඳ වාර්තා තබා ගැනීමේ ක්‍රම හරහා අප මත පටවා ඇති අනන්‍යතාවන් ය. මෙම බෙදීම් සාධාරණීකරණය කිරීම සඳහා යටත් විජිත වාදීන් විවිධ හේතු ගෙන එන ලදි. එම වර්ග කිරීම් සිදුකර ඇත්තේ විද්‍යාත්මක ආකාරයකට බව ඉන් ප්‍රබලතම හේතුව යි. යටත්විජිත ව්‍යාපෘතිය තුළ ‘විද්‍යාව’ සහ ‘විද්‍යාත්මක ක්‍රම’ විශාල ලෙස යොදා ගැනීම සිදුකර ඇති අතර, එසේ යොදාගෙන ඇත්තේ මානව සමාජයේ යහපැවැත්ම වෙනුවට, යටත්විජිත වාදීන්ගේ පටු දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ය. එනම්, සුදු හමක් ඇති පුද්ගලයින් බුද්ධියෙන් සහ දැනුමෙන් අනෙක් පුද්ගලයින්ට වඩා පිරිපුන් බව කියන්නේත්, ‘විද්‍යාත්මක’ යයි ඔවුන් කියන මේ ක්‍රමය අනුගමනය කිරීමෙනි. එනම්, යටත්විජිතවාදය විසින් විද්‍යාව ඉතාම කූට ලෙස යොදා ගනිමින්, ජාති සහ ජන වර්ග බෙදීම මෙන්ම ඔවුන්ව ධුරාවලියක පිහිටුවීමටද සිදුකර ඇත.
අනන්‍යතාව හා රාජ්‍ය
මාගේ තර්කය වන්නේ ජාතිය හා ආගම යන අනන්‍යතා අනුව අපව හඳුන්වා ගැනීම වරදක් බව නොවෙ යි. නමුත් අප එය සිදුකළ යුත්තේ අවබෝධයක් සහිතව බව ය. එනම්, මෙම ජාති-ආගම් අනන්‍යතා භාවිත කරමින් අප ඍජුව හෝ වක්‍රව වෙනත් ජන කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට හානියක් සිදුකරන්නේ නම්, එය අපගේ අනන්‍යතාවට අප විසින්ම සිදුකරගන්නා හානියක් මිස, අපගේ ජන අනන්‍යතාව ඔසවා තැබීමක් නම් නොවන්නේම ය. අප ජාති-ආගම් අනන්‍යතා සංස්කෘතිය වශයෙන් සැමරිය යුතු අතර, එසේ කළයුතු වන්නේ අනෙක් ප්‍රජාවන්ට හෝ පුද්ගලයින්ට කිසිඳු ආකාරයකින් හානියක් නොවන ආකාරයට ය. නැතහොත්, එම සැමරීම් වලට ඔවුන්වද සම්බන්ධකර ගැනීම වටී. නමුත්, මෙම ජාති- ආගම් අනන්‍යතා භාවිතාකරමින් යම් කණ්ඩායමක් එම ප්‍රවර්ග තම පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමට යොදා ගන්නේ නම්, ඒ පිළිබඳ දෙවරක් නොව සිය වරක් සිතා බැලිය යුතු ය. පුරවැසියන් ලෙස අපගේ වගකීම වන්නේ මේ අනන්‍යතා දේශපාලනය සහ එය විවිධ කණ්ඩායම් විසින් භාවිතකරන ආකාරය පිළිබඳ අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම යි.
මෑත කාලයේ බලයට පත්වූ විවිධ දේශපාලකයින් විසින් ‘සිංහල-බෞද්ධ’ අනන්‍යතාව තමන් වෙත ආරෝපණය කරගෙන ඇත. සිංහල බෞද්ධ අනන්‍යාවයෙන්ද ඔබ්බට ගොස්, සිංහල බෞද්ධ රාජ්‍යත්වයක්ද ආරෝපණය කරගත් දේශපාලන නායකයින් විශාල ගණන කි. උදාහරණ ලෙස යුද්ධයෙන් පසු ලංකාව තුළ දුටු ගැමුණු ප්‍රතිරූපය ආරූඪ කරගත් නායකයෝ සිටියහ. මහින්ද රාජපක්ෂගේ පෝස්ටර් වල, ඔහු ජීව ප්‍රමාණයෙන් නැඟී සිටින අතර, ඔහුගේ පැත්තකින් දුටුගැමුණු කඩුවක් අතදරාගෙන සිටියි. නැසීගිය ජැක්සන් ඇන්තනි මහතා විසින් කළ එක්තරා රුපවාහිනී වැඩසටහනක මහින්ද රාජපක්ෂ දුටුගැමුණුට ලේ ඥාති වන ආකාරයත්, දුටු ගැමුණු බුදුන්ට ලේ ඥාති වන ආකාරයත් ඔහු පෙන්වා දෙයි. ජනතාව විසින් බලයෙන් නෙරපා දැමූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ දුටුගැමුණු රජු විසින් සාදනලද්දේ යයි කියන රුවන්වැලි සෑය ඉදිරියේ ය. ඔහු ජාතිය අමතා කරන කතාවේදී කියන්නේ, එම ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සංඝරත්නයගේ ආශිර්වාදය සුවිශේෂ පිටුවහලක් වූ බවත්, එම මැතිවරණ ජයග්‍රහණයේ ප්‍රධානම සාධකය බහුතර සිංහල ජනතාව බවත්, ඔහු ඉල්ලා සිටි නමුත්, අපේක්ෂාකළ තරම් සහයක් සහයක් මුස්ලිම් සහ දමිළ ජනයාගෙන් නොලැබුණු බවත් ය.
මේ නායකයින් විසින් දුටුගැමුණු බව ආරෝපණය කරගන්නට යන්නේ, දුටුගැමුණු දෙමළ රජෙකු වූ එළාර පරාජය කළ අයුරින්ම, ඔවුන්ද උතුරේ යුද්ධය ජයග්‍රහණය කළේය යන අරුතිනි. මෙසේ රාජ්‍යත්වය මෙන්ම දුටුගැමුණුභාවය ආරෝපණය කරගැනීමේ ගැටලු ගණනාවක්ම ඇත.
පළමුවැන්න වන්නේ, අද පවතින ජාතිකත්වය යනු දුටුගැමුණු රජ සමයේ තිබූ ජාතිකත්වයම නොවීමයි. එනම් ජාතිකත්වය ස්ථිතික යමක් නොවන අතර, එය වෙනස්වන සමාජයෙන් යම් ලක්ෂණ උකහා ගනිමින් වෙනස් වෙයි. ඒ අනුව, නූතන රාජ්‍යය විසින් ලේඛනකරණය හරහා අප මත පටවනලද ජාතිකත්වය, දුටුගැමුණු වැඩවසම් සමයේ තිබූ රාජ්‍යත්වයම නොවෙයි. දෙවෙනි කරුණ නම්, රාජ්‍යත්වය අයිති වැඩවසම් සමාජයට වීමයි. අප ජීවත්වන්නේ ජනතා නියෝජිතයින් ජනතා ඡන්දයෙන් තේරී පත්වන නූතන රාජ්‍යයක වීමයි. ඒ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සපුරාලීමට රාජ්‍ය අසමත් නම්, රාජ්‍ය ප්‍රතිපත්ති හරහා ජනතාව අගතියට පත්වේ නම්, පුරවැසියන් ඒ වෙනුවෙන් නැඟී සිටීම සිදුවිය හැකි ය. එය එළාර සිදුකළා වැනි සතුරු ආක්‍රමණයක් නොව, ඒ වෙනුවට පුරවැසියා තම අයිතීන් වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටීමකි. එවැනි තත්ත්වයක් තුළ රජෙකු ලෙස ප්‍රශ්න විසඳීමට වඩා අවශ්‍ය වන්නේ ජනතාවගෙන් කෙනෙකු ලෙස නැතහොත් ජනතා නොයෝජිතයෙකු ලෙස ප්‍රශ්න විසඳීම යි.
රාජ්‍යත්වය හා ජන නියෝජනය
එමෙන්ම, යමෙකු සිංහල බෞද්ධ රජෙකුගේ රාජ්‍යත්වය ආරෝපණය කරගැනීමට යාමෙන්, රටේ අනෙකුත් සහෝදර ජනතාවට රාජ්‍යට ඇති බැඳීම දුර්වල කරයි. මේ නාමික ‘සිංහල-බෞද්ධ’ වීම හරහා පෙන්වන්නේ අනෙකුත් සහෝදර ජනතාවට තම නියෝජිතයෙකු නොමැති බවයි. රුවන්වැලිසෑය ඉදිරිපිට දිවුරුම් දීම හරහා මෙන්ම, තමුන් පත්වූයේ සිංහල බෞද්ධ ජනයාගේ ඡන්ද වලින් බව ප්‍රකාශ කිරීමත්, ඊට ජනයා සාධුකාර දීමත් තරම් ගෝත්‍රික වැඩවසම් ක්‍රියාවක් තවත් නොමැති තරම් ය. රටක ජනයාගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙකු වූ පසු, එහි සිංහල බෞද්ධ භාවය සෙවීම අතාර්කිකය, එමෙන්ම එය අනෙකුත් සහෝදර ජනතාව හෙළා දැකීමක් සහ ඔවුන්ට අනියමාකාරයෙන් තර්ජනය කිරීමකි.
රජවරු පත්වන්නේ පරම්පරාවෙනි, අප ඒ යුගය පසුකර දිගු ප්‍රගතශීලි ගමනක් පැමිණ අවසන් ය. එවැනි තත්ත්වයක් තුළ තවමත් රාජ්‍යත්වය ආරෝපණය කරගැනීමට යාම පුරවැසියාගේ වටිනා ඡන්දය හෑල්ලුවට ළක් කිරීමකි.
පුරවැසියන් යනු සමජාතීය කණ්ඩායමක් නොවෙයි. පුරවැසියන් යනු විවිධ අනන්‍යතා සහිත පිරිසකි: එනම් දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, කාන්තා, පිරිමි, දුප්පත්, පොහොසත්, ආදී වශයෙන් විවිධ අනන්‍යතා සහිත පිරිසකි. අප මෙතැනදී සිතා බැලිය යුත්තේ, ඒ සියලු දෙනාට මේ රටේ පුර වැසියන් ලෙස සමාන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහසක් භුක්ති විඳිය හැකිද යන්න යි. ඒ සියලු දෙනාට ලැබෙන නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවකාශ එක සමානද? සියලු දෙනාටම සමානව හැසිරිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ අවකාශයක් අපට ලැබී නොමැ ත. උදාහරණයක් ලෙස, මුස්ලිම් ජාතිකයාට මුස්ලිම් ජාතිකයෙකු ලෙසත්, දෙමළ ජාතිකයාට, දෙමළ ජාතිකයෙකු ලෙසත්, කාන්තාවකට, කාන්තාවක ලෙසත්, තම අනන්‍යතාවය සහිතව නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහභාගී වීමේ හැකියාවක් සහිත සමාජයක් අප විසින් නිර්මාණයකළ යුතු වෙයි.
අචාර්ය අනුෂ්කා කහඳගමගේ