Home » “පාසල් පෝෂණ වැඩසටහන” අඛණ්ඩව පවත්වාගෙන යාමට රුපියල් බිලියන 32 ක්

“පාසල් පෝෂණ වැඩසටහන” අඛණ්ඩව පවත්වාගෙන යාමට රුපියල් බිලියන 32 ක්

by chanaka
April 24, 2025 11:23 am 0 comment

ලෝක ආහාර වැඩසටහනෙහි ආධාර මත ක්‍රියාත්මක මෙරට පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගත් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන, මේ වන විටත් ක්‍රියාත්මක ආකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් රජය විසින් ගෙන ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, මෙම වැඩසටහනට සම්බන්ධ සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා ගේට් පදනම හා පාත් පයින්ඩර් ආයතන නියෝජිතයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සමඟ ඊයේ (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

හඳුනාගත් අඩු පෝෂණ මට්ටමේ දරුවන් සිටින දිස්ත්‍රික්කවල ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාරය ලබා දීමේ රජයේ වැඩසටහනට සමගාමීව, පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා රජය විසින් මේ වසරේ වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 32 කි.

තෝරාගත් දිස්ත්‍රික්ක 04ක නියමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අංශ විසින් කෙරෙන විධිමත් අධ්‍යයනයකින් පසු දීප ව්‍යාප්තව මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් පාසල් දරුවන්ගේ යකඩ ඌණතා ගැටලුව අවම වී ඇද්ද යන්න සොයා බැලීම අධ්‍යයනයේ අරමුණයි.

විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් ( Fortified Rice ) පාසල් දරුවන්ගේ දිවා ආහාරයට එකතු කිරීම මේ යටතේ සිදු කෙරේ.

මේ වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා පදනම, ගේට්වේ පදනම හා ෆාත්ෆයින්ඩර් පදනම තවදුරටත් සහය ලබා දීමට ද එකඟ විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් මලර්මදී ගංගාධරන් මහත්මිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා නියෝජිතායතනවල නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT