Home » ජාතිවාදය, ජාතිකවාදය, ගෝත්‍රිකවාදය සහ දේශප්‍රේමිත්වය

ජාතිවාදය, ජාතිකවාදය, ගෝත්‍රිකවාදය සහ දේශප්‍රේමිත්වය

by sachintha
April 24, 2025 1:00 am 0 comment

උක්ත මාතෘකා හතර එකිනෙකට වෙනස් අර්ථකථන සමාජය හමුවේ ජනිත කරවන තේමා ය. ගෙවුණු කාලපරාසය මුළුල්ලේ ශ්‍රී ලාංකේය සමාජ දේශපාලනයට ඉතා බරපතළ ලෙස බලපෑම් කිරීමට ඉහත තේමාවලින් ඇති කරවන ලද සමාජ කරුණුවලට හැකියාව ලැබිණි. ඇතැම් විටක එය මානව සමාජයේ බුද්ධිමය සීමාව ඉක්මවා යන්නක් ද විය.

ශ්‍රී ලාංකේය සමාජ දේශපාලනයේ අතිබහුතර ස්තරය කිසියම් ආකාරයක හැඟීම්බර ස්ථාවරයක (imotional feeling) පවතින බවක් හඳුනාගත හැකි ය. සමාජයේ බහුතර ස්තරයක් අතිශය සංකීර්ණ අවස්ථාවලදී තීන්දු තීරණ ගෙන ඇත්තේ බුද්ධියට වඩා හැඟීමට මුල් තැන දෙමින් බව ඉතිහාසය පරීක්ෂා කිරීමේදී හඳුනාගත හැකි ය. එකී සමාජයීය මනෝභාවය ඉතා සරල කාරණාවලින් වෙනස් විය හැකි යැයි යන දේශපාලනික අවබෝධය ඔස්සේ ඉහත කාරණා විග්‍රහ කිරීමට උත්සාහ දරමු.

ජාතිවාදය සහ ජාතිවාදී දේශපාලනය විසින් දශක ගණනාවක් මුළුල්ලේ මෙරට සංහිඳියාවේ දේශපාලනයට සහ ජාතිකත්ව සහෝදරත්වය විශ්වාස කරන ජන සමාජයේ සංවේදී මනස්වලට කරන ලද බලපෑම අතිශය බරපතළ ය.

ජාතිය හෝ පාක්ෂිකභාවය මත තම මතය හෝ දර්ශනය කෙරේ තදින් එල්බ සිටින්නෝ සහ ඒ මත, විවේචන ගොඩනඟා ගන්නෝ මෙකී ජාතිවාදී ස්වරූපයට අයත් වෙති. ඔවුන් සියලු කාරණා විග්‍රහ කර ගන්නේ එකී ජාතිවාදි දෘෂ්ටිකෝණයට අනුව ය.

ජාතිකවාදය යනු ඊට තරමක් වෙනස් හා සමාන්තර සංකල්පයකි. ජාතිකවාදය බිහි වූයේ 18 වැනි සහ 19 වැනි සියවස්වල වැඩවසම් ක්‍රමය පෙරළා දමමින් බිහි වූ විප්ලවයත් සමඟ ය. ජාතිකවාදය යනු ධනවාදය පැනනැඟීම හා සම්බන්ධ ධනේශ්වර ජාතික රාජ්‍යය බිහි කිරීම අරමුණු කර ගත් ව්‍යාපාර වෙයි. ඒ අනුව ජාතිවාදය හා ජාතිකවාදය අතර ඇත්තේ ඉතා සියුම් බෙදුම් රේඛාවකි.

ගෝත්‍රිකවාදය යනු සාම්ප්‍රදායික, නොදියුණු සංකල්පයකි. තම වර්ගයා හෝ ජාතියක පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින එහි ඇත්තේ ද එක්තරා ආකාරයක ජාතිවාදී මුහුණුවරකි. එය බෙදුම්වාදී මුහුණුවරකින් යුක්ත වේ. විශාල ජන කණ්ඩායමක් සංස්කෘතික, වාර්ගික, ගෝත්‍රික, ආගමික ආණ්ඩු හෝ ස්ත්‍රී-පුරුෂභාවය මත වෙන් කිරීම සහ පෙනී සිටීම මේ ගෝත්‍රවාදයට අයත් වේ.

දේශප්‍රේමීත්වය යනු තමා ඉපදුණු දේශයට නැතිනම් මවුබිමට දැඩි ලෙස ප්‍රේම කිරීම පිළිබඳ ඇති කැමැත්තයි. ඉතිහාසයේ බිහි වූ බොහෝ අරගල දේශප්‍රේමී අරගල ලෙස වර්ග කෙරෙනුයේ ඒ හේතුවෙනි. ඇතැම් විටක වර්ගවාදය සහ ගෝත්‍රවාදය නොදියුණු, ත්‍රාඩ දේශප්‍රේමීත්වය ලෙස ද ජන සමාජය තුළ ඉස්මතු විය හැකි ය. ආගම හෝ ජාතිය ඉදිරියට දමමින් එකී පන්නයේ බිහිසුණු දේශප්‍රේමීත්වයක් පසුගිය කාලය පුරා ක්‍රියාත්මක වූ බව අප ඉතා හොඳින් දන්නා කාරණයකි. ඇතැම් විටක ඔවුන් විසින් කරන ලද බොහෝ සමාජ විරෝධි ක්‍රියා ජාතිමාමකත්වය සහ දේශප්‍රේමී ලේබලයේ ආවරණය ලැබූ බව ද සත්‍යයකි. ඒ සඳහා එකල දේශපාලන බලධාරීන්ගෙන් ලැබුණු සහාය ද ඉමහත් ය. සත්තකින්ම මෙකී සියලු වර්ගවල ගෝත්‍රවාදී දේශපාලනික පියවර පරාජය කිරීමකින් තොරව නිදහස් රාජ්‍යයක් ගොඩනැඟිය නොහැකි වනු ඇත.

කාල් මාක්ස් සහ ලෙනින් වැනි විද්‍යාත්මක සමාජවාදීන් ජාත්‍යන්තරවාදය වැනි සංකල්පයක් යෝජනා කළේ එයට පිළිතුරු වශයෙනි. එය ක්‍රියාත්මක කිරීමේදී ඇති ගැටලුව වන්නේ වර්ගවාදය, ජාතිවාදය සහ ආගම්වාදයෙන් මුල් බැසගත් රාජ්‍යයක එකී ජාත්‍යන්තරවාදී සංකල්ප රෝපණය කිරීම පිළිබඳ අතිදුෂ්කර අභියෝගයයි.

ජාතිය, ආගම, ජන වර්ගය වර්ණ භේදවාදය මුල් කොට ගත් දේශපාලනික අවස්ථා සහ සිද්ධි ජන සමාජයේ සංවේදි මනස්වලට ඉතා ඉක්මනින් බලපෑම් කරනු ඇත. එය නිවැරදිව තේරුම් ගතහැකි වනුයේ නිවැරදි සමාජ, දේශපාලනික අවබෝධයක් ඇත්තකුට පමණකි.

ජාත්‍යන්තරවාදය යන සංකල්පයෙහි වර්ග කිහිපයක් නැත. එහි ඇත්තේ එකම එක් වර්ගයක්ම පමණකි. එය මානවවාදයේ හා සහෝදරත්වයේ දර්ශනයයි.

එහෙයින් රූපවාහිනී තිරවල, පත්තර පිටු අතර, සමාජ මාධ්‍යයේ විදත් ඉඩකඩවල මෙකී ජාතිවාදී දේශපාලනයේ අඳුරු සෙවණැලි සංවේදී ඔබේ මනසට බලපෑම් කිරීමට ඇති සම්භාවිතාව වැඩි ය. ඒවා හැඟීමෙන් නොව බුද්ධියෙන් විමසා බලා කටයුතු කිරීම කාලීන සමාජ දේශපාලනික අවශ්‍යතාවකි.

දේශපාලනික ප්‍රතිවිරෝධතාව පරාජය කළ හැක්කේ ප්‍රතිවිරෝධීන් භූමියෙන් අතුගා දැමීමෙන් නොව, ඔවුන්ගේ දේශපාලනික මතවාදය පරාජය කිරීමෙන් බව ඉතා හොඳින් අවබෝධ කොටගත යුතුය.

එබැවින් සංවේදී ප්‍රවෘත්තිමය කරුණු අතිශයෝක්තියට නැඟීමෙන් තොරව තේරුම් ගැනීම කාලීන සමාජ අවශ්‍යතාවක් වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT