ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සම්ප්‍රදායන්ට හා සංස්කෘතියට මුල්තැන දෙමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සිය වාර්ෂික ‘නැව්තොටේ අලුත් අවුරුදු උත්සවය’ පවත්වා තිබේ.
සත් වසරක සාර්ථක මෙහෙයුම් සනිටුහන් කරමින් උත්සවාකාරයෙන් සංවිධාන කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා දෙස්, විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව සිටි අතර, වරාය පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට කොට්ටපොර, බනිස් කෑම ඇතුළු සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් ඇතුළත් විය. කාර්ය මණ්ඩලය විසින් අවුරුදු කුමරා සහ කුමරිය තෝරාගැනීම සිදුවූයේ විනෝදාත්මක අත්දැකීමක් සියලු දෙනා වෙත උරුම කර දෙමිනි.
උදෑසන 9 සිට ආරම්භ වූ අවුරුදු උත්සවය සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයින් 150කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර, වරායේ අත්‍යවශ්‍ය මෙහෙයුම් නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අදාළ කණ්ඩායම් කැපවී කටයුතු කර ඇත.
සාම්ප්‍රදායික උදෑසන ආහාරය සමඟින් ආරම්භ වූ උත්සවය වරාය සාමාජිකයන්ගේ එකමුතුකම හා හැකියාව මනාව පිළිබිඹු කර තිබෙන අතර දෙස්, විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා සාම්ප්‍රදායික දේශීය ඇඳුමෙන් සැරසී සිටීම විශේෂත්වයක් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන විධායක නිලධාරි විල්සන් ක්ව් මහතා “හම්බන්තොට ජාත්‍යන්තර වරාය නව විශ්වාසයකින් හා අධිෂ්ඨානයකින් යුතුව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම අලුත් අවුරුද්ද සැමරීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ගෝලීය සැපයුම් අංශය තුළ ක්‍රමයෙන් ඇතිවන වෙනස්කම්වලට අනුකූලව නව අභියෝගවලට මුහුණ දෙමින් තවදුරටත් ව්‍යාප්ත වීමට අප සූදානම්. ඉදිරි වසරේදී, වරාය සේවා තවදුරටත් වැඩිදියුණු කර නව ආයෝජන හඳුන්වා දීමට අප පියවර ගෙන තිබෙනවා” යැයි පැවසීය.
එසේම දකුණු පළාතේ පිහිටා ඇති බහුකාර්ය වරාය ලෙස පරිපූර්ණ සේවාවන් සැපයීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු ප්‍රධාන හවුල්කරුවන් සමඟ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉතා සමීපව කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මහින්ද අලුත්ගෙදර