Home » ශ්‍රී ලංකා-අමෙරිකා සාකච්ඡා සාර්ථකයි
තීරු බදු ගැටලුව:

ශ්‍රී ලංකා-අමෙරිකා සාකච්ඡා සාර්ථකයි

-දෙපාර්ශ්ව‍යෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්- ජනපති කියයි

by sachintha
April 24, 2025 1:59 am 0 comment

අමෙරිකා එක්සත් ජනපදය පැනවූ තීරු බදු හේතුවෙන් ඇතිවූ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට එරටට ගොස් සිටින මෙරට නියෝජිතයන් හා අමෙරිකානු නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡා ඉතා ප්‍රතිඵලදායක බව තමාට මෙරට නියෝජිත පිරිස දන්වා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඉදිරියේදී කණ්ඩායම් දෙකම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ රත්නපුර ජන රැලිය අමතමින්

ජනාධිපතිවරයා ඊයේ (23) කියා සිටියේය. අමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තිය මෙරට ඇඟලුම් ඇතුළු ක්ෂේත්‍ර කීපයකට බලපෑ හැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම ගැටලුව විසඳා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ද එහිදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයේදී 22 වැනිදා සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් මට දැනුම්දී තිබෙනවා ඒ සාකච්ඡා ඉතාමත් ප්‍රතිඵලදායක බව. ඒ නිසා දෙපාර්ශ්වයම එකඟ වෙලා යම් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. අපි උත්සාහ ගන්නවා කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳා ගන්න.

ජනවරමට අප සියලු දෙනාම යටත්. එය උත්තරීතරයි. අප මේ රට හදනවා. නොසැලෙන ආර්ථිකයක් අප ගොඩනැඟීමට කටයුතු කරනවා. වෙනස් නොවන කණ්ඩායම මැයි මාසේ සිට වෙනස් කරන්න සිදු වෙනවා.

මැණික් පිළිබඳ ඇති බදු පිළිබඳ ගැටලු මැණික් ව්‍යාපාරිකයන් අපට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළා. ඒක අපට විසඳා ගන්න හැකියි. අපේ ප්‍රධාන ඉලක්කයත් අපනයන ආදායම වැඩි කර ගැනීම. සිපෙට්කෝ සමඟ සාකච්ඡා කර වල් නාශක කෘමි නාශක ආනයනය කර තිබෙනවා. එම නිසා ඒවායේ මිල අඩු කිරීමට කටයුතු කරනවා. කුඩා තේ වතු හිමියන්ට 50%ක පොහොර සහනාධාරයක් දීමට කටයුතු කරමින් තිබෙනවා. විශ්වවිද්‍යාලවල නේවාසික ගැටලු ගණනාවක් තිබෙනවා. එම නේවාසික ගැටලු තිබෙන තැන්වලට විකල්ප තැන් තිබෙනවා ද කියා සොයා බලන ලෙස මම බුද්ධි සේවාවන්ගෙන් ඉල්ලීමක් කළා. පසුගියදා මට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව රජයේ භාවිතයට ගන්නෙ නැති ගොඩනැඟිලි විශ්වවිද්‍යාලවල නේවාසිකගාර බවට පත් කරන්න අප කටයුතු කරනවා. චීන රජය එකඟ වෙලා තිබෙනවා මුළුමනින්ම පාසල් නිල ඇඳුම් ඉදිරි වසරේත් නොමිලේ දෙන්න. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණු අය පුනරුත්ථාපනය කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යස්ථාන හදනවා.

නඩු පිළිබඳ මම අද උදේත් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළා. නඩු කොතනද සිර වී තිබෙන්නේ කියා, කොතනද ප්‍රශ්න තිබෙන්නේ කියා සොයා බැලුවා. නඩු විශාල ගණනාවක් මහාධිකරණයේ පැවරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ තිබෙන බවත් ඔවුන් ප්‍රකාශ කළා. සමහර වංචා බැලුවම ආත්ම ගණනාවක් හිරේ සිටින්නට සමහරුන්ට සිදුවේවි.

හැකියාවක් තිබෙන කණ්ඩායම් රාජ්‍ය සේවයට අවශ්‍යයි. රට තුළ නව සංචාරක ස්ථාන හඳුන්වා දිය යුතුයි. අනුරාධපුරය පැරණි රාජධානිය ඉස්මතු වන ආකාරයෙන් යළි ගොඩනඟනවා. ඉන්දියාව ඒ සඳහා සහයෝගය දෙනවා. යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල, යාපහුව වැනි ස්ථාන සංචාරක ව්‍යාපාරය සඳහා සංවර්ධනය කරනවා.

උපාලි කරුණාරත්න,

චමීර ඇල්ලදෙණිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT