නිසි අවසර පත්‍රයක් නොමැතිව දැඩි ආරක්ෂිත ක්ෂීරපායි සත්ත්වයකු වන සඳුන් දිවි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉකුත් 21 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමටත් එම සතා වනජීවී නිලධාරීන් මඟින් රන්දෙණිගල පශූ වෛද්‍ය ඒකකයට ප්‍රතිකාර සඳහා ලබාදීමටත් නිසි වයස් සීමාවේ දී පරිසරයට මුදාහැරීමටත් නියෝග කරනු ලැබීය. තෙල්දෙණිය පොලිස් වසමේ දිගන, අඹගලලන්ද ප්‍රදේශයේ නිවසක නිසි අවසර පත්‍රයක් නොමැතිව දැඩි ආරක්ෂිත ක්ෂීරපායි සත්ත්වයකු වන සඳුන් දිවි පැටවකු ඇතිකරන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් පරික්ෂක අතපත්තු, සැරයන් රත්නායක (62869) යන නිලධාරින් විසින් එම නිෙවස පරීක්ෂා කොට සැකකරුවකු සමඟ එම නිවසේ ඇතිකරනු ලැබූ බව කියන මාස පහක පමණ වයසැති මෙම සඳුන් දිවි පැටවා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
අධිකරණ නියෝග මත මෙම සඳුන් දිවි පැටවා හසලක වනජීවී අඩවි ආරක්ෂක මහින්ද විජේසිංහ මහතා වෙත භාරදීමෙන් පසු එම සත්ත්වයා රන්දෙණිගල පශූ වෛද්‍ය ඒකකය වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.
හසලක සමූහ – ඊ. එම්. එස්. ඒකනායක