Home » එන්එස්එල් තරග දෙකම ජය පැරදුම් නෑ

එන්එස්එල් තරග දෙකම ජය පැරදුම් නෑ

by sachintha
April 24, 2025 1:39 am 0 comment

එන්එස්එල් සිවුදින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ ජය පරාජයෙන් තොරව නිමා විය. මේ සමඟ මේ තරග දෙක ආරම්භ වීමටත් පෙර පෙරමුණ ගෙන සිටි දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් සටනකින් තොරවම අවසන් මහතරගයේ ස්ථාන වෙන් කර ගත්තේය.

දඹුලු පිටියේදී ලකුණු 94ක් පසුපසින් සිට ඊයේ දිනය ඇරඹූ කොළඹ ක්‍රීඩකයෝ සිය ඉනිම ලකුණු 422 දක්වා ඉදිරියට ගෙන ගිය අතර, තරගය නතර කරන විට ගාලු පිල දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 118ක් රැස් කර තිබිණි. පෙරේදා සිය හොඳම පළමු පෙළ ඉනිම (142) ක්‍රීඩා කරමින් සිටි කොළඹ නායක චරිත් අසලංක ඊයේ සිය ඉනිම ලකුණු 151 දක්වා ඉදිරියට ගෙන ගියේය.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ කඩුලු 4ක් බිඳ දැමූ අතර, නිසල තාරක සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කඩුලු 4ක් පමණක් අතැතිව ලකුණු 154ක් පසුපස සිට දිනය ආරම්භ කළ දඹුලු ක්‍රීඩකයෝ පළමු ඉනිමේදී යාපනය (418) පිල අබිබවා ගියේ තවත් කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි. තරගය නිමා වන විට ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 470ක් රැස් කර තිබිණි.

මුළු ලකුණු 203දී පිටියේ එක්වූ විසාද් රන්දික (42) සහ චමිඳු විජේසිංහ (26) 7 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 143ක් දක්වා ඉදිරියට ගෙන ගිය අතර, චමිඳු ලකුණු 72කට දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. සිය 7 වැනි පළමු පෙළ ශතකය වාර්තා කළ විසාද් පන්දු 331කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 122ක් රැස් කළ අතර, ඉනුක කරන්නාගොඩ නොදැවී ලකුණු 51ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී ඉසිත විජේසුන්දර, නිමේෂ් විමුක්ති සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් දවා ගත්හ.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT