Home » ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ දී SINGHE Furniture සම්මානයට

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ දී SINGHE Furniture සම්මානයට

by mahesh
April 25, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරන ලද 2024 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ දී SINGHE Furniture සම්මාන ද්විත්වයක් හිමි කර ගනිමින් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා ආර්ථිකයට හා ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ කර්මාන්ත ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය වෙනුවෙන් මෙලෙස ඇගයීමට ලක් විය. මෙම සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා‌ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස, ඊගල්ස් ලේක්සයිඩ්හි දී පැවැත්විණි.

මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඉහළ පරිසාධන මට්ටමට ළඟා වීම වෙනුවෙන් වසරේ විශිෂ්ටතම කර්මාන්ත සන්නාමකරු ලෙස ‘ප්ලැටිනම් සම්මානය’ මෙන්ම ආර්ථිකයට දක්වන දායකත්වය වෙනුවෙන් දැව, දැව ආශ්‍රිත සහ ගෘහ භාණ්ඩ අංශය යටතේ වසරේ විශිෂ්ටතම කර්මාන්ත සන්නාමකරු ලෙස ‘ජාතික සම්මානය’ යන සම්මාන ද්විත්වයම හිමි කර ගනිමින් SINGHE Furniture ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය යළිත් වරක් තහවුරු කර තිබේ.

ගෘහ භාණ්ඩ කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 22ක් අතුරින් SINGHE Furniture සම්මානයට පාත්‍ර වීම තුළින් එහි ඇති ගුණාත්මකභාවය, නවෝත්පාදන හා තිරසරභාවය සඳහා ඇති අද්විතීය කැපවීම පිළිබිඹු කරයි.ගෘහ භාණ්ඩ ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික ශිල්පීය හැකියාවන් ජාතික මට්ටමට ඔසවා තබමින් සිය දේශීය නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළට ව්‍යාප්ත කිරීම අරමුණ බව SINGHE සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මාලක රූබසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලක රූබසිංහ මහතා,

”නවෝත්පාදන ඉලක්ක කරගත් නිෂ්පාදන බිහි කිරීම රටක සංවර්ධනයට ඉවහල් වන අතර සම්ප්‍රදාය නවීන මෝස්තර සමඟ මිශ්‍ර කරමින් අපගේ අනන්‍යතාව ආරක්ෂා කරගත් උසස් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට හැකියාව ලැබී තිබෙනවා. ශිල්පීයත්වයේ හා නවෝත්පාදනයේ ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යමින් පාරිභෝගිකයින් වෙනුවෙන් උසස් නිෂ්පාදන හා සුහදශීලි සේවාවක් ලබා දීමට කටයුතු කරනවා. කණ්ඩායමේ කැපවීම, අධිෂ්ඨානය, උද්‍යෝගය, අරමුණු හා ඉලක්ක වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙහි ප්‍රතිඑලයක් ලෙස මෙලෙස සම්මානයට පාත්‍ර වීම ආඩම්බරයක් මෙන්ම අපගේ ආයතනික සීමාවන් පුළුල් කරමින් ආයතනික දැක්ම ශක්තිමත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT