හිටපු ජනපතිවරුන්ගේ සහ මැති – ඇමැතිවරුන්ගේ ද වර්තමානයේ පාර්ලිමේන්තුවට තේරී පත් වන මැති – ඇමැතිවරුන්ගේ ද වරප්‍රසාද කප්පාදු කළ යුතු බවට මතයක් බරපතළ ලෙස සමාජගත වී තිබේ.
ජනතාවට නොලැබෙන කිසි ම දෙයක් මහජන නියෝජිතයන්ට ද නොලැබෙන බව වර්තමාන ආණ්ඩුවේ බලධරයෝ ඉකුත් මැතිවරණ සමයේ ප්‍රකාශ කළහ. සැබැවින් ම මෙය අගය කළ යුතු ප්‍රකාශයකි. මැතිවරණ සමයේදී කරන ලද ප්‍රකාශය බලය ලැබුණු පසු ප්‍රායෝගිකව ඔප්පු කළ යුතු කාලසීමාව දැන් පැමිණ තිබේ. ඒ අනුව හිටපු ජනපතිවරුන්ගේ සහ මැති – ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සොයා බලා නිර්දේශ සකස් කිරීම සඳහා කමිටුවක් ද පත් කෙරිණි. මේ සඳහා ක්‍රමවේද සකස් කරන විට විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් සඳහන් කර සිටියේ එය එක්තරා අන්දමක දේශපාලනික පළිගැනීමක් බවයි. එහෙත් රට ඉතා බරපතළ ආර්ථික අර්බුදයකට පැමිණ සිටින කාලවකවානුවක ඉතා විශාල ධනස්කන්ධයක් යොදවමින් එවැනි මහජන නියෝජිතයන් නඩත්තු කිරීම සිදු කළ යුතු ද යන්න ප්‍රශ්න කළ යුතු කාරණයකි.
මහජන නියෝජිතයකු යනු: ජනතාව වෙනුවෙන් ජනතා අභිලාෂ ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාදායකය හෝ විධායකය නියෝජනය කරන අයෙකි. මූලික තර්කය නම් මහජනතාවට නොලැබෙන කිසිවක් ඔහුට වරප්‍රසාදලාභි පන්නයේ අයකු ලෙස ලැබිය යුතු නැත. මන්ද යත්: ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජන අපේක්ෂා නියෝජනය කිරීම වන හෙයිනි.
එහෙත් දශක ගණනාවක් පුරා මෙරට මුල් බැසගෙන තිබූ ප්‍රභූ දේශපාලනය තුළ ස්ථාපිතව තිබූ අධිපතිවාදී බල දේශපාලනය ඔවුන් බලයෙන් පහවීමෙන් පසුව වුවද හමාර වූයේ නැත. ඊට හේතුව, මෙරට සහයෝගිතා දේශපාලනයක් ක්‍රියාත්මක වීමය. තට්ටු මාරු ක්‍රමයට පක්ෂ දෙකක් සහ එහි නියෝජිත පිරිසක් එක ම ප්‍රතිපත්ති රාමුවක රට රැගෙන යමින් තිබියදී තමන්ගේ පන්තිමය දේශපාලන මිතුරා විරුද්ධ පක්ෂයේ සිටිය ද ඔහු ආරක්ෂා කරන ප්‍රතිපත්තියක නිරත වීම ය.
දැන් අසීරුවෙන් හෝ ජනතා අභිලාෂ ක්‍රියාත්මක වන දේශපාලනයකට රට මාරු විය යුතු ය. ඒ සඳහා ප්‍රතිපත්තිමය දේශපාලනයක් සහ ජනතාවගේ ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍ය වේ. එය පියවරෙන් පියවර සිදු කළ යුතු අතිශය දුෂ්කර කාර්යයකි.
රැස් විහිදෙන දේශපාලනයක නිරත වූ හිටපු ජනපතිවරුන්ගේ හා මැති-ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම අන්තවාදී පාක්ෂික ප්‍රජාවගේ හිත රිදෙන කාරණයක් විය හැකි ය. එහෙත් එය අනිවාර්යයෙන් සිදු කළ යුතු ය.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වන වරප්‍රසාද පිළිබඳ 1986 අංක 4 දරන ජනපතිවරුන්ගේ හිමිකම් පනතේ සඳහන් වෙයි. එයට අනුව ජනාධිපතිවරයකුට හිමි වන වරප්‍රසාද ඔහුගේ මරණයෙන් අනතුරුව වැන්දඹු බිරියට ද හිමි වේ. පනතට අනුව හිටපු ජනපතිවරයකුට නිවෙසක් හිමි වන අතර, එය ඔහුට හිමි වන විශ්‍රාමික දීමනාවෙන් තුනෙන් එකක මාසික කුලියකට යටත් විය යුත්තකි. එහෙත් මෙතෙක් සිටි සෑම ජනාධිපතිවරයකුම කෝටි ගණන් වටිනා මන්දිරවල අතිවිශාල භූමි ප්‍රදේශයක ජීවත් වූ බව රහසක් නො වේ. එපමණක් නොව, දැවැන්ත ආරක්ෂක වළලු මැද ඔවුන්ගේ පවුල හා හතරවරිගය ම එහි අන්තර්ගත කොට තිබිණි. ජනතාව ඒ මුරකාවල් දැක දැකත්, අතිවිශාල ධනස්කන්ධය විනාශ වන අයුරු දැක දැකත් නෑසූ කන්ව සිටියහ.
වඩාත් කනගාටුදායක කාරණය නම්, හිටපු ජනපතිවරුන්ට ආරක්ෂක නිලධාරීන්, වෛද්‍යවරුන්, සූපවේදීන් සහ ගිලන් රථ පවා සැපයීම ය. අගනුවර තදාසන්න ප්‍රදේශවල ජීවත් වෙමින් සිටින ඔවුන්ට රජයේ සහ පෞද්ගලික රෝහල් ඕනෑ තරම් තිබියදී වෛද්‍යවරුන් සහ ගිලන් රථ තමන්ගේ කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට තිබුණේ කවර හේතුවක් නිසා දැයි නොතේරේ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි දීමනා සහ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් 1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම දීමනා පිළිබඳ පනතේ දක්වා ඇත. සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් විශ්‍රාම වැටුපකට හිමිකම් කීම සඳහා වසර 20ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතු ය. තතු එසේ වන විට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5ක පාර්ලිමේන්තු නියෝජනයකින් විශ්‍රාම වැටුපක් හිමි වීම කොතරම් යුක්තිසහගත ද යන්න යළි සිතා බැලිය යුතුව ඇත.
ඉහත දීමනා හා වරප්‍රසාද හිමිව ඇත්තේ ව්‍යවස්ථානුකූලව, නීතිමය ආවරණයක් යටතේ පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතකින් බව කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත් වැරදි ක්‍රමවේදයක් නීති මඟින් හෝ සම්මත කොට ඇති නම් එය වෙනස් කිරීමට පියවර ගත යුතුව ඇත. එකී පනත් සම්මත කර ගනු ලැබුවේ පාර්ලිමේන්තුව හමුවේ නම්, ඒවා අවලංගු කරගත යුත්තේ ද පාර්ලිමේන්තුව හමුවේ ය. ඒ සඳහා නව නීති සම්පාදනය කළ යුතු නම් ඊට කඩිනමින් පියවර ගත යුතුව ඇත. ජනතාව එකී ව්‍යවස්ථාදායක බලය වර්තමාන ආණ්ඩුවට දී තිබේ.
පාර්ලිමේන්තුවේ බහුතර බලය පමණක් නොව, තුනෙන් දෙකක බලය දී ඇත්තේ එකී නීති සම්පාදනය කොට අදාළ ක්‍රමවේද සකස් කිරීම සඳහා ය. ඉතා සරලව කිවහොත්: ජනතාව ජනතාවගේ කාර්යය ඉටු කොට හමාර ය. දැන් ඇත්තේ ආණ්ඩුව පාර්ශ්වය විසින් එකී ක්‍රියාමාර්ග ඉටු කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කිරීම පමණි. එය ජනපතිවරුන්ගේ සහ මැති-ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට පමණක් නොව, දූෂණ, වංචා, අක්‍රමිකතා නතර කිරීමට ද අදාළ ය. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදා කිරීම සඳහා වන ප්‍රවේශ මාර්ගය සකස් කිරීමේදී ඉතා ඍජු තීන්දු – තීරණ සහ සමාජ ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. පළමුව නිවැරදි දිශානතියකට රට ගෙනයෑම සඳහා ක්‍රමවේද සකස් කරගැනීමේ අතිදුෂ්කර වෑයම සිදු කර ගත යුතු ය.
ජනතාවට මේ පිළිබඳ කරුණු වඩාත් හොඳින් සන්නිවේදනය කිරීමේ සන්නිවේදන ගනුදෙනුව පිළිබඳව ද අවධානය යොමු කිරීම මෙහිදී අතිශය වැදගත් ය. එබැවින් ජනප්‍රිය පන්නයේ ක්‍රියාමාර්ගවලට වඩා ප්‍රායෝගික තලයේ ක්‍රියාමාර්ග කෙරෙහි ජනතාව විශ්වාසය තබනු ඇත. ජනතාවට ඒ පිළිබඳ නිවැරදිව සන්නිවේදනය කිරීමෙන් ඔවුන් වැඩපිළිවෙළක් සඳහා විශ්වාසය තබනු ඇති බව අපගේ හැඟීමයි.
හිටපු මැති – ඇමැතිවරුන්ගේ, ජනපතිවරුන්ගේ, නිලධාරි පෙළැන්තියේ දූෂණ, වංචා හා අක්‍රමිකතා පිළිබඳ තොරතුරු සමාජගත කිරීමෙන් ඔබ්බට ගොස්, ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ජනතාව තුළ නිවැරදි විශ්වාසය ගොඩනැඟෙන්නේ ඒ අනුව ය. ජනතා බදු මුදලින් නඩත්තු වන දේශපාලනික ප්‍රජාවට ද සමාජ වගකීම නමැති සංකල්පය පිළිබඳ වගකීමක් සහ වගවීමක් ඇති වනුයේ එවිට ය. ගෙවුණු කාලපරාසවල ප්‍රභූ දේශපාලකයන් එවැනි වගකීමකින් සහ වගවීමකින් කටයුතු කර ඇති බවක් නොහැඟේ.
එහෙයින්, එකී ආකල්පමය වෙනස දේශපාලකයන්ට පමණක් නොව ජන සමාජයටද දීම අත්‍යවශ්‍ය කාරණයකි. එවැනි නිශ්චිත ක්‍රමවේදයක් සඳහා විධිමත් සැලසුම් සකස් කිරීම සහ ඒවා ක්‍රියාවට නැංවීම කඩිනමින් සිදු කළ යුතු බව අපි යළි යළිත් අවධාරණය කරමු.