ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධි ක්‍රියාත්මක සැලැස්ම අනුව ලංකාවේ දූෂණයට ලක්වූ පද්ධතියක් ලෙස පාසල් පද්ධතිය පෙන්නුම් කරනවා. දූෂණයෙන් තොර ඌව පළාතේ පාසල් පද්ධතියක් පවත්වාගෙන යෑම සඳහා නවක ගුරුවරයෙකු ලෙසින් ආ සුපිළිපන්න ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙසින් ඌව පළාත් අභ්‍යන්තර කටයුතු ඒකකය හා සම්බන්ධ වෙමින් අල්ලස් හා දූෂණයෙන් තොර පාසල් පද්ධතියක් යළි ස්ථාපනය කිරීම සඳහා දායක වන්නැයි ඌව පළාත් අභ්‍යන්තර කටයුතු අධ්යක්ෂ ඩබ්ලිව්.රන්දෙණිය මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ගුරුවරුන් 294 පළාතේ පාසල්වල වැඩ භාරගැනීමට එක්වූ සමාරම්භක උත්සවය අමතමිනි.
අධ්යක්ෂවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“ගුරුවරුන් ලෙස පාසලට පිවිසෙන ඔබගේ ඒකායන අරමුණ විය යුත්තේ දූ දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම සහ ගුණගරුක පරපුරක් බිහි කිරීමයි.
ඒ සඳහා නිරන්තරයෙන් කැපවන්න. නියමිත වෙලාවට පාසලට යන්න. දරු දරුවන් කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටින්න. පාසලට බාහිරෙන් එන උවදුරුවලින් දරුවා බේරාගන්න. දරුවන්ට ආදර්ශවත් ලෙස හැසිරීම ඔබේ යුතුකමයි.
ඔබට වැටුප් ගෙවන්නේ මේ රටේ ජනතාවගෙන් ලැබෙන බදු මුදල්වලින්. ඒ බව අමතක කරන්න එපා. වීදියේ සිටින යාචකයාගේ සිට ඉහළම ආදායම් ලබන පුද්ගලයා ඔබගේ පඩිපතට දායක වෙනවා. විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුදැරියන්ට සමාජයේ ඉහළම තත්ත්වයට යාමයට මඟ සලසා දෙන්න.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර, පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න, පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල යන මහත්වරු සහභාගි වූහ.