වරින්වර රන් මිල ඉහළ යෑමත්, උපකරණ හා අමුද්‍රව්‍ය මිල ඉහළ යෑමත් හේතු කරගෙන කඩා වැටෙමින් පැවැති පාරම්පරික ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්ත මේ වන විට ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට සිදුවන රන් මිල ඉහළ යෑමෙන් වළපල්ලටම යමින් පවතින බව මිනුවන්ගොඩ, ගල්ඔලුව, හෙන්ඩිමහර පාරම්පරික ස්වර්ණාභරණ නිෂ්පාදකයෝ පවසති.
ඉතිහාසයේ ප්‍රථම වරට විශාල ප්‍රමාණයකින් රන් මිල ඉහළ යෑම හේතු කරගෙන නිෂ්පාදකයාත්, අලෙවිකරුවාත්, පාරිභෝගිකයාත් අසීරුතාවයට පත්ව සිටිති. මෙම තත්ත්වය ගම්පහ දිස්ත්‍රික්කයට මෙන්ම සමස්ත දිවයිනේම ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයට බලපාන බව ඔවුහු පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ, රන් මිල ඉහළ යෑමට අමතරව ස්වර්ණාභරණ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය උපකරණ ආදියේ මිල ගණන්ද ඉහළ ගොස් ඇති පරිසරයක සිය කර්මාන්තය හා ව්‍යාපාර පවත්වාගෙන යෑමේ දැඩි දුෂ්කර තත්ත්වයක් මතුව ඇති බවයි.
මිනුවන්ගොඩ ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදකයකු සහ අලෙවිකරුවකු වන කාන්චනා ජුවලර්ස් අධිපති කේ.ඒ. අශෝක මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
“රන් මිලේ ඉහළ නැඟීම ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයට කෙළින්ම බලපානවා. ස්වර්ණාභරණ නිෂ්පාදකයකු වශයෙන් මෙන්ම අලෙවිකරුවකු වශයෙන් දිගු කලක සිට මම කටයුතු කරනවා. ග්‍රාමීය මට්ටමින් කර්මාන්තයෙහි යෙදී සිටින පිරිසට මෙම ගැටලුව තදින්ම බලපානවා. ස්වර්ණාභරණ නිෂ්පාදනයත්, අලෙවියත් රැඳී පවතින්නේ විශ්වාසය මත. කැරට් 24 රන්වලින් තනිකරම භාණ්ඩ නිෂ්පාදනය කරන්න බැහැ. මාත්තු යොදා කැරට් 22කට සකස් කරගන්නවා. මේ මිල ඉහළ යෑමට හේතුව විශේෂයෙන් අමෙරිකාව ඇතුළු ලෝක වෙළෙඳපොළට සම්බන්ධ රටවල් සිය වත්කම් සංචිතය රන්වලින්ම පවත්වාගෙන යෑමට තීරණය කිරීමයි. මේ මිල ඉහළ යෑම අනුව මංගල ආභරණ කට්ටලය සකස් කර ගැනීමට රුපියල් ලක්ෂ හතරක්, හතරහමාරක් පමණ වියදම් කිරීමට සිදු වෙනවා. ඉදිරියේදී මේ මිල තවත් වැඩි විය හැකියි.”
ගල්ඔලුව ඩබ්ලිව්.ඒ. රංජිත් ලලන්ත මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
“පාරම්පරිකව තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. මේ කර්මාන්තයෙන් කසිම රජයකට බරක් නැහැ. එසේ වුණත් මෙම කර්මාන්තයට කිසිම රජයකින් මේ දක්වා සහනයක් ලැබී නැහැ. අද වන විට රන් පවුම රුපියල් 269,000ක්. ඉතින් කොහොමද මේ කර්මාන්තය කරගෙන යන්නේ.පාරිභෝගික ජනතාව මේ වන විට භාණ්ඩ මිල ඉහළ යෑමේ ගැටලුවට මුහුණ දෙමින් දුෂ්කර ජීවිතයක් ගත කරමින් රන් භාණ්ඩ සාදා ගැනීමට හැකියාවක් නැතිව ඉන්නවා. උපකරණ සහ අමුද්‍රව්‍ය මිලත් ඉහළ නැඟ තිබෙනවා. පොල්කටු අඟුරු කිලෝව රුපියල් 270ක්. දුනු පටි දුසිමක් රුපියල් 600යි. සැලඩ් කිලෝවක් රුපියල් 12,000යි. ඇසිඩ් කිලෝවක් රුපියල් 1,200යි. හොඳ පීරක් රුපියල් 3,000යි. රන් ආලේප දියර ලීටරය රුපියල් 65,000යි. ඉතින් කොහොමද රැකියාව කරගෙන යන්නේ. රන් පවුම රුපියල් 269,000කට ගියා කියන්නේ මෙම කර්මාන්තය වළපල්ලට යෑමයි.”
ගල්ඔලුව බී.එම්. සමිත් චමින්ද මහතා මෙසේ පැවසීය.
“රන් මිල ඉහළ යෑම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නටත් එහා. මහජනයා අත මුදලුත් නැහැ. මුදල් තිබුණොත් තමයි ආභරණ හදවන්නෙ.කර්මාන්තයට අවශ්‍ය උපකරණ අමුද්‍රව්‍ය මිලත් ඉහළයි. පවුලේ සාමාජිකයන් පස්දෙනෙක් ජීවත් කළේ මේ කර්මාන්තයෙන්. මේ රන් මිල ඉහළ යෑම ජීවන වෘත්තියට එල්ල වූ අතුල් පහරක්. ගල්ඔලුව ගමේ මේ කර්මාන්තයෙන් ජීවත් වූ පවුල් අද අසරණ වෙලා.”