වසර දහසයකට පසු පැවැත්වුණු සිරි දළදා වන්දනාව ඊයේ දිනයෙන් හමාර විය. සකල ලෝවාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක බලා වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව එමඟින් ජනතාවට හිමි විය. සිරි දළදා වන්දනාව පිළිබඳව මෙවර ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා සමාජ අවධානය හිමි වූ බව සත්‍ය කරුණකි.
ක්‍රිස්තු වර්ෂ 310 දී පමණ ත්‍රිකුණාමලයේ අප්‍රකට වරායකින් ලංකාදීපයට වැඩම කර වූ බවට සැලකෙන ශ්‍රී දළදා වහන්සේ මෙරට රාජධානි කිහිපයකදීම සුරක්ෂිත කොට රැකබලා ගැනීමෙන් පසු වර්තමානයේ ඓතිහාසික සෙංකඩගල දළදා මැඳුරේ ලෝවාසී ජනීජනයාගේ අපමණ ගරු බුහුමන් මැද වැඩ හිඳිති.
මහ ජනතාව වෙනුවෙන් පැවැත්වුණු සිරි දළදා වන්දනාවේ පළමුවැන්න අදින් වසර 1715කට පෙර අනුරපුර කිත්සිරිමෙවන් මහ රජු දවස දක්වා දිවෙන බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙයි.
මෑතකාලීන ඉතිහාසය විමසා බලන කල 1828, 1882, 1972, 1978, 1991, 2001, 2004, 2009, වසරවල සිරි දළදා ප්‍රදර්ශන පවත්වා තිබේ.
මුලින් සඳහන් කළාක් මෙන් ගෙවුණු සෑම දළදා වන්දනාවකටම වඩා මෙවර ඒ පිළිබඳව හිමි වූ සමාජ අවධානය සාපේක්ෂව වැඩි ය.
ඒ එක්තරා සමාජ දේශපාලනික මුහුණුවරකිනි.
සිරි දළදා වන්දනාව අවසානයේ ඒ පිළිබඳව විවිධ පුරෝකතන සමාජගත කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරා තිබුණ ද එය ඉතා පරිශ්‍රමයකින් යුතුව සාර්ථකව අවසන් වීම විශේෂිත කාරණයකි.
කලකට පසුව දක්නට ලැබෙන මෙම සුවිශේෂී අවස්ථාවට හිමි වන සමාජ අවධානය අතිශයින් වැදගත් වන හෙයින් කළමනාකරණය කර ගත නොහැකි ජනතාවක් පැමිණීම ස්වාභාවික ය. වසර දහසයකට පසු පැවැති මෙකී සිරි දළදා වන්දනාවේ අඩුපාඩු, දුෂ්කරතා, වැරදීම් සොයන අයකුට ඕනෑතරම් එවැනි දෑ සොයාගත හැකිය. සමස්ත කාරණය අමතක කොට ඒවා පමණක් සමාජගත කිරීම ද සිදු කළ හැකිය.
පළමුවෙන් වටහාගත යුත්තේ මෙය ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය හෝ මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය හෝ නොවන බවයි. එසේත් නැති නම් ගාලුමුවදොර පිට්ටනියේ හෝ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක් හෝ නොවන බවයි.
සංස්කෘතික වටපිටාව, ආගමික සදාචාරය, වත්පිළිවෙත් යනාදී කාරණා ද ඉපැරණි සංස්කෘතිකාංග යනාදියට ද මුල් තැන දෙමින් ඒවා ප්‍රතික්ෂේප නොකරමින් සිරි දළදා වන්දනාව පැවැත්වීම සිදු කළ යුක්තකි. අතීතයේදී මෙන් ප්‍රභූවරුන්ට හෝ වරප්‍රසාදලාභීන්ට පමණක් වෙන් වන වී. අයි. පී. පෝලිම් ඉවත් කිරීම ප්‍රශංසනීය කටයුත්තකි.
එහෙත් සමාජ සංයමය හෝ විනය නොමැති ඕනෑම අයකු අතින් ඒවා උල්ලංඝනය විය හැකිය. එවැනි සිදුවීම් කිහිපයක් ද වාර්තා විය.
ජනාධිපතිවරයා හදිසියේ කිසිවකුටත් නොදන්වා මහනුවර නගරයට ගොස් බැතිමතුන් හමුවී කතාබස් කොට අඩුපාඩු විසඳීමට මැදිහත්වීම අගය කළ යුත්තකි. එමෙන්ම ගත වූ කාලය මුළුල්ලේ මහනුවර නගරයේ පිරිසුදු කිරීම් කටයුතුවලට එකතු වූ කම්කරු ප්‍රජාව වෙනුවෙන් වෙනම පෝලිමක් එකතු කිරීම ද පැසසිය යුතු කටයුත්තකි.
භක්තිවන්තභාවය යන්න පිළිබඳව අර්ථකථන ලබාදීම අතිශය දුෂ්කර කටයුත්තකි. විශේෂයෙන් එය ආගමික භක්තිවන්තභාවයේදී ඉතාමත් සංවේදී කාරණයක් වෙයි. දළදා වන්දනාව අවසාන කිරීමට නියමිතව තිබියදී පවා බැතිමතුන් නොකඩවා නගරයට පැමිණීම එයට උදාහරණයකි.
සිරි දළදා වන්දනාව පැවැති දින දහයකට අධික කාලසීමාව තුළදී මහනුවර ප්‍රදේශවාසීන් සහ වෙළෙඳ ප්‍රජාව එයට ලබා දුන් දායකත්වය අගය කළ යුත්තකි. තමන්ගේ වෙළෙඳ වුවමනාව පසෙක තබා ආගමික කටයුත්ත සඳහා මූලිකත්වය ලබා දීම ප්‍රශංසනීය වේ. එමෙන්ම කතෝලික, ඉස්ලාම් බැතිමතුන් පවා
එම පූජකවරුන් පවා ඔවුනගේ පල්ලිවල දේවස්ථානවල දොරටු හැර බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පළ කළ යුතුය.
සියල්ල පටු ආත්මාර්ථකාමී දෘෂ්ටිකෝණයෙන් විමසා බලන කල කෙනකුට ඒවායෙහි දහසකුත් අඩුපාඩු සොයා ගැනීමට හැකිය. මේ පිළිබඳ නිරර්ථක විවේචනවල නිරත වන අයට කීමට ඇත්තේ එකම එක දෙයක් පමණි. ඔබට තමන්ගේ තරගකරුවා හෝ ප්‍රතිවාදියා තමන්ට වඩා විශාල යැයි පෙනෙන්නේ නම් එහි අර්ථය ප්‍රතිවාදියාට සාපේක්ෂව ඔබ කුඩා බවයි. එම නිසා තමන්ට අතට අසු වන ඕනෑම දෙයකින් දමා ගැසීමට සිතෙන්නේ ඒ හේතුවෙනි. සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කළ විවිධ මාධ්‍යයන්ට, අන්තවාදී දේශපාලකයන්, ඇතුළු සියල්ලට ඒ බව සිහිපත් කොට දීමට කැමැත්තෙමු.
ප්‍රතිවිරෝධි මත දරන්නන්ට පෙනුණේ බැතිමතුන් නිසා නුවර ගොඩගැසුණු කුණු කන්ද පමණකි. තවත් අයට පෙනුනේ ප්‍රමාණවත් තරම් සෞඛ්‍යාරක්ෂිත පහසුකම් නොමැතිවීම පිළිබඳව වන ගැටලුවයි. ඒවා නිවැරදි කරවීම පිළිබඳව ගත් ක්‍රියාමාර්ග පෙනුණේ නැත. සමස්ත වැඩසටහන සාර්ථක කරගැනීම පිළිබඳව සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය ලබාදුන් දායකත්වය පෙනුණේ නැත. වෙනත් ආගමික සහෝදරත්වය තමන්ගේ ආගමික අනන්‍යතාව පසෙකටදා ඒ දිනවල බෞද්ධ හැඟීමෙන් කටයුතු කළ ආකාරය පෙනුනේ නැත. නගරය පිරිසුදු කරන පහළම තලයේ කම්කරුවාගේ සිට ඉහළම තලයේ රාජ්‍ය නිලධාරියා දක්වා කරන ලද කැප කිරීම පෙනුණේ නැත. අව්වැසි නොතකමින් ආරක්ෂක රාජකාරිවල නිරත වූ ආරක්ෂක අංශවල දායකත්වය පෙනුනේ නැත.
බුදුන් වහන්සේ යළිත් වරක් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ ද මෙකී විවේචකයන් යම් හෝ විවේචනයක් ඉදිරිපත් කරනු ඇත. එම නිසා එම විවේචනවලින් ඉදිරි ක්‍රියාමාර්ග හෝ සැලසුම් පසුපසට ගත යුතු නොවේ. වඩාත් වැදගත් වන්නේ ජනතා ආකල්ප හා මතවාද සකස් කරදීමයි. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සමානාත්මතා සංකල්පයේ සැබෑ අර්ථය සමාජගත කළ හැකි වන්නේ එවිටයි. සිරි දළදා ප්‍රදර්ශනයේ උත්තුංග සමාජ අරමුණුවලට ප්‍රායෝගිකත්වයක් ලබා දිය හැක්කේ එවිට ය. ආගමික සහජීවනය, සංස්කෘතික වත්පිළිවෙත්වල සමාජයීය අර්ථ එලෙසින් තබා ගනිමින් ආකල්පමය වෙනසක් ඇති සමාජයක් සඳහා පියවර තැබිය හැක්කේ එවිට ය.