ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ – දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකාවේ දේශපාලන ස්තර තුනක් තිබේ. එනම් ජාතික මට්ටම, උප ජාතික මට්ටම සහ ප්‍රාදේශීය මට්ටමයි. ප්‍රාදේශීය මට්ටම යනුවෙන් අදහස් කළේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන්නයි. මේවා සාමාන්‍යයෙන් අප හඳුන් වන්නේ ප්‍රාදේශීය ආණ්ඩු යනුවෙනි. පළාත් පාලන ආයතනය යන වචනය බහුලව භාවිත වුවත් මෙය නිවැරදිව භාවිත වන්නේ ප්‍රාදේශීය ආණ්ඩු ලෙසයි. අපේ රටේ ප්‍රාදේශීය ආණ්ඩු එසේත් නැත්නම් ප්‍රාදේශීය ආණ්ඩුකරණයේ ඉතිහාසය දෙස බැලීමේදී මෙය සිංහල රාජ්‍ය පාලන කාලය තෙක් දිවයයි. එවගේම ප්‍රාදේශීය ආණ්ඩු කතාව එන්නේ විමධ්යගතකරණයත් සමඟයි. මධ්‍යම ආණ්ඩුවේ බලය ප්‍රාදේශීය මට්ටම්වලට මුදා හැරීම විමධ්‍යගතකරණය ලෙස හඳුන්වයි. මේ පිළිබඳව සිංහල රාජ්‍ය කාලය තුළ ද අපට ඇත්තේ විශාල අත්දැකීමක් ප්රමාණයකි. එය තවදුරටත් ශක්තිමත් වන්නේ යටත්විජිත යුගයේදී වන අතර, එය ශක්තිමත් වනවා පමණක් නොව නෛතික පදනම ද ඇති වේ. උදාහරණයක් ලෙස මහ නගර සභා සහ නගර සභා ආඥා පනත් හඳුන්වාදිය හැකිය. යටත් විජිත යුගයේදී මෙහි නෛතික පදනමක් ඇතිවී විධිමත් ආකාරයට නිර්මාණය වී තිබේ. මේ ආකාරයට පැමිණ වර්තමානය වන විට මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙස ප්‍රධාන ස්තර තුනක් පවතී.
නෛතික පදනම
ප්‍රාදේශීය සභා මූලික වශයෙන් නෛතික තත්ත්වයට එකතු වන්නේ 1987දීය. මේ අනුව අද වන විට පළාත් පාලන ආයතන නැත්නම් ප්‍රාදේශීය ආණ්ඩු 341ක් මුළු රටම ආවරණය වන පරිදි ව්‍යාප්තව පවතී. විශේෂත්වය වන්නේ මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සෑම කටයුත්තකටම මේ ප්‍රාදේශීය ආණ්ඩුවල සහාය අත්‍යාවශ්‍ය වීමයි. සෑමවිටම ප්‍රාදේශීය මට්ට්මේ ජනතාව ගැටෙන්නේ මේ ප්‍රාදේශීය ආණ්ඩු සමඟයි.
ජපානය, ඉන්දියාව වැනි රටක් ගත්තත් ඒ රටවල මධ්‍යම ආණ්ඩු ප්‍රාදේශීය ආණ්ඩු ආරක්ෂා කරන්න, බලගන්වන්න, ඒවාට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිදු කරන්න ඉතාම කැපවීමෙන් කටයුතු කරයි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය ආණ්ඩු පවතින අතර, ඒ ප්‍රාදේශීය ආණ්ඩු බලගන්වන්න පුහුණු ආයතන බිහිකර විශාල කැපවීමක් සිදු කර තිබේ. අපේ රටේ බහුතරයක් ජීවත් වන්නේ ප්රාදේශීයවයි. එනිසා ප්‍රාදේශීය සභාවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරට ප්‍රාදේශීය සභා 276කි. ප්‍රාදේශීය සංවර්ධනය, ප්‍රාදේශීය දේශපාලන සහභාගීත්වය ආදී කාරණා සමඟ ගත් විට මේ පුංචි ආණ්ඩු ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවකි.
ප්‍රාදේශීය ආණ්ඩු සම්බන්ධයෙන් ජනතාව තුළ මේ දක්වා ඇති මතය එතරම් යහපත් එකක් නොවේ. එයට හේතු වන්නේ මේවා අල්ලස, දූෂණය, වංචාව, නිවැරදිව වැඩ නොකිරීම සහ අකාර්යක්ෂමතාව ආදී කරුණුයි. එනිසා මේ ආයතන හොඳින් බලගන්වා, නිසි මඟපෙන්වීම් සිදු කර, නෛතික ගැටලු නිරාකරණය කර, මූල්‍ය ශක්තිය වැඩි කර ගැනීමට අවශ්‍ය පදනම දැමීමට මධ්‍යම ආණ්ඩුව සහාය දීමෙන් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් නිරාකරණය කර ගැනීමේ හැකියාව පවතියි. මේ පුංචි ආණ්ඩුවල ප්‍රධාන ලෙසම මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධරයන් ලෙස කොටස් දෙකකි.
රාජ්‍ය නිලධාරීන් බලගැන්වීම
ප්‍රාදේශීය ජනතාවට මේ දෙපිරිසත් සමඟම ගනුදෙනු කිරීමට සිදුවේ. දීර්ඝ කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවූ තත්ත්වයක් තුළ මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකාරීත්වය ද දක්නට නොලැබුණි. අනෙක් පැත්තෙන් රාජ්‍ය නිලධාරීන්ට මහජන නියෝජිතයන් සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ලැබුණු අත්දැකීම් ප්‍රමාණය ද අවම විය. මෙහිදී කාරණා දෙකක් දෙස අප විමසිලිමත් විය යුතුය. එකක් පළාත් පාලන ආයතනවල රාජ්‍ය නිලධාරීන් බලගැන්වීම. නෛතික කරුණු වෙනස්වීම, චක්‍රලේඛ නීතිරීති වෙනස් වීම, අලුතින් නිලධාරීන් පත්වීම ආදිය නිසා මේ නිලධාරීන්ට ප්‍රාදේශීය මට්ටමෙන් විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී නිසි පුහුණුවක් ලබාදිය යුතුයි. මෙහිදී පළාත් සභාවලටත්, මධ්‍යම ආණ්ඩුවටත් විශාල වගකීමක් පැවරේ. දෙවැන්න මෙවර මැතිවරණයට අලුත් සභිකයන් එක්වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කිරීමයි.
ඒ සභිකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඒ අයට අවශ්‍ය කරන පුහුණුවීම් සහ අවබෝධය ලබාදිය යුතුයි. පුහුණු වැඩමුළු සහ සම්මන්ත්රණ හරහා ඉතා කඩිනමින් ප්‍රාදේශීය මට්ටමේ ඇති නීතිරීති, රෙගුලාසි පිළිබඳව දැනුම්වත් කිරීම් කළ යුතුය. එසේ නොවුණොත් මහජන නියෝජිතයන් සහ ප්‍රාදේශීය මට්ටමේ සිටින නිලධාරීන් අතර ගැටුම් ඇතිවීමට ඉඩ ඇත. එනිසා කඩිනමින් ප්‍රාදේශීය මට්ටමේ මහජන නියෝජිතයන් නිසි ලෙස පුහුණු කිරීම, නිලධාරීන්ට අවශ්‍ය කරන නෛතික තත්ත්වයන් ඇතුළු කාරණා සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන කිරීම සිදු කළ යුතුය. ඒ හරහා පුංචි ආණ්ඩුවලින් අපි බලාපොරොත්තු වන සේවාව ජනතාවට ඉතා හොඳින් ගෙන යෑමට හැකියාව ලැබේ.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල තිබෙන බොහෝ කරුණු වර්තමානයට නොගැළපේ. එනිසා එම නෛතික කරුණු වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද මතුව තිබේ.
මැතිවරණ ක්‍රමය ගත්තත්, වෙනත් නෛතික කාරණා ගත්තත් එසේමයි. වර්තමානය වන විට නාගරීකරණයේ ව්‍යාප්තිය වැනි කාරණා ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර, ගැඹුරින් සාකච්ඡා කර මේවායේ නෛතික පදනම බලගැන්වීමට කටයුතු යෙදිය යුතුයි. තවද කාලයක් පුරා ප්‍රාදේශීය ආණ්ඩුවල අකාර්යක්ෂමතාව සහ ඵලදායීතාව සම්බන්ධයෙන් ගැටලු ද මතුව තිබේ. මහජන නියෝජිතයන්ගේ කටයුතුවල විනිවිදභාවයක් නොමැතිවීම, වගකීම් විරහිතවීම, ජනතාව මේ ආයතනවලින් දුරස් වීම, මේවාට පත්වන මහජන නියෝජිතයන් ප්රජාතන්ත්රවාදී මූලධර්ම උල්ලංඝනය කිරීම, මුදල් සම්බන්ධ කාරණාවලදී දක්වන නොසැලකිල්ල මේ සඳහා හේතු වී තිබේ.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ප්‍රාදේශීය මට්ටමින් රජයේ මුදල් වියදම් කිරීමේදී ඉතාම විනිවිදභාවයෙන් එය සිදු විය යුතුයි. එසේවීමට නම් එක් පැත්තකින් තේරීපත්වන මහජන නියෝජිතයන්ට මේ ගැන අවබෝධයක් තිබිය යුතුය. අනෙක් පැත්තෙන් ප්‍රාදේශීය ආණ්ඩුවල නිලධාරීන්ට ඒ ගැන හොඳ පුහුණුවක් සහ අවබෝධයක් තිබිය යුතුය. මේ ආයතන වඩාත් හොඳින් බලගැන්වීමට කටයුතු කිරීමේදී මේ පිළිබඳව ඒ අයට හොඳ පුහුණුවක්, මඟ පෙන්වීමක් සහ විශේෂඥ සහාය මධ්‍යම ආණ්ඩුවෙන් ලබා දිය යුතුයි.
ක්ලීන් ශ්‍රී ලංකා
මේ සඳහා මධ්‍යම ආණ්ඩුව කැප වන බව ද පෙන්නුම් කර තිබේ. වර්තමානයේ ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැනි වැඩසටහනක් ගත් විට ඒවායෙහි විශාල කාර්යභාරයක් තිබෙන්නේ ප්‍රාදේශීය ආණ්ඩුවලටයි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ ප්‍රාදේශීය ආණ්ඩු කියන්නේ කුණු කසළ ඉවත් කිරීම, කානු සුද්ධ කිරීම වැනි කටයුතු කරන ආයතනයක් හැටියටයි. ඒ නිසාම මේවාට වැදගත්කමක් ලබාදෙන බවක් පෙනෙන්නට ද නැත. නමුත් වර්තමානයේ දියුණු රටවල් ගත්තොත් ප්‍රාදේශීය ආණ්ඩුවක් කියන්නේ ජනතාවගේ එදිනෙදා බහුවිධ අවශ්‍යතා සපුරන ආයතනයකි. උදාහරණයක් වශයෙන් ජපානය වැනි රටක පාසලකට ළමයෙක් ඇතුළත් කිරීම, ලෙඩකට බෙහෙත් ගැනීම, නිවෙසක් තනා ගැනීම, ප්‍රාදේශීය මට්ටමේ මාර්ගයක් සාදා ගැනීම, වීදි ආලෝකකරණය, කුණු කසළ ඉවත් කිරීම ආදී බහුවිධ කාර්යයන් කරන ඉතාම බලසම්පන්න ආයතනයක් ලෙස ප්‍රාදේශීය ආණ්ඩුවක් එසේත් නැත්නම් මහ නගර සභාවක් හඳුන්වයි. මේ ආයතන ශක්තිමත් වීමට තවත් වැදගත් හේතුවක් වන්නේ මේ සඳහා පෞද්ගලික අංශයේ සහාය ද ලබා ගැනීමයි. මෙය අපේ රටට ද හොඳ අවස්ථාවකි. අපේ රටේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට තමන්ගේ රාජ්‍ය යන්ත්‍රණය තුළ කටයුතු කරගෙන යනවාට අමතරව අවශ්‍ය අවස්ථාවන්හිදී පෞද්ගලික අංශයේ ද සහාය ලබා ගත හැකිය. ප්‍රාදේශීය ආණ්ඩු පනත්වල සඳහන් වන ආකාරයට මහජනතාවට තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමේ අවස්ථාව හිමිව තිබේ. නමුත් ඉතිහාසය දෙස බැලීමේදී පෙනෙන්නේ අපේ රටේ මේ සඳහා මහජනතාව සම්බන්ධ කර ගැනීමේ ක්‍රියාවලියක් දක්නට නොලැබුණු බවකි. එවැනි සංස්කෘතියක් ද නිර්මාණය වී නැත. එනිසා මේ ගැන නව සංස්කෘතියකින් සිතා මහජනතාවත්, නිලධාරීනුත්, මහජන නියෝජිතයනුත් එකතුවී තම ගමේ ප්‍රශ්න විසඳා ගත යුතුයි. එසේ වුවහොත් ප්‍රදේශයේ ගැටලු වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමේ හැකියාව ද පවතියි.
අපේ රටේ ප්‍රධානම ගැටලුවක් වන්නේ කැළි කසළ ප්රශ්නයයි. මේ ප්‍රශ්නයට වගකිව යුතු පාර්ශ්ව දෙකකි. එනම් මහජනතාව සහ ප්‍රාදේශීය ආණ්ඩුයි. අපේ රටේ මහජනතාව හැම විටම සිතන්නේ කුණු කසළ ඔවුන්ට අයිති දෙයක් නොවන මහ නගර සභාවට හෝ නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට හෝ අයිති දෙයක් ලෙසයි.
ජපානය වැනි රටක ප්‍රාදේශීය ආණ්ඩු කැළි කසළ සම්පතක් බවට පත් කරගෙන තිබේ. ඒ ප්‍රාදේශීය ආණ්ඩු ඉතාම විද්‍යාත්මක පදනමකින් මේ කැළි කසළ වර්ගීකරණය කරමින් විශාල ක්‍රියාවලියකට අවතීර්ණ වී තිබේ. එතරම් දියුණු රටකත් ජනතාව තවමත් පාලන ක්‍රියාවලියට සම්බන්ධ වී තමන්ගේ ගමේ ප්‍රශ්න විසඳා ගැනීමට එකතු වෙනවා නම් ඒ හැකියාව අපට නැත්තේ ඇයි. එනිසා අපි කළ යුත්තේ ජනතාවට මේ කාරණා සම්බන්ධයෙන් නිවැරැදි අවබෝධයක් ලබාදීමයි. අනෙක් පැත්තෙන් ජනතාව මේ ආයතනවලට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාවලියක් නිර්මාණය කර ගත යුතුයි. වර්තමානයේ අපේ රටේ පළාත් පාලන ආයතනයකට යම්කිසි කටයුත්තක් කරගැනීමට ගිය විට එම සේවාවෙන් ලබන තෘප්තිය ද ඉතාමත් අල්පයි.
ඩිජිටල්කරණය
නමුත් තාක්ෂණික අතින් දියුණු ලෝකයේ මේ සේවාවන් ලබාදීම ඩිජිටල්කරණය කළ හැකිය. ඇතැම් පළාත් පාලන ආයතනවල මූල්‍ය ශක්තිය ඉතාම ඉහළ මට්ටමක පවතී. රාජ්‍ය නොවන සංවිධානවල උපකාර ගැනීමට ද මේ ආයතනවලට හැකියාව තිබේ.
මෙවර මැතිවරණයේදී තේරී පත් වන නියෝජිතයන්ට මධ්‍යම ආණ්ඩුවත් සමඟ හොඳ සහසම්බන්ධයක් ගොඩනඟාගෙන වැඩ කරගෙන යෑමට අවස්ථාව සලසා ගත හැකිය. එසේ වුවහොත් අපට දියුණු රටක මෙන් හොඳ ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීමට හැකි පළාත් පාලන ආයතන නිර්මාණය කිරීමේ හැකියාව ලැබේ. රටේ ආර්ථික ජීවනාලියටත්, දේශපාලන ස්ථාවරත්වයටත්, ජනතාවගේ සෞඛ්‍යසම්පන්න තත්ත්වය නිර්මාණය කර ගැනීමටත් දායක විය හැකි ආයතන විශේෂයක් ලෙස ප්‍රාදේශීය ආණ්ඩු හැඳින්විය හැකිය. එනිසා ආණ්ඩුකරණයේදී ඉතාමත් වැදගත් ස්ථානයක් ප්‍රාදේශීය ආණ්ඩුවලට ලබාදිය යුතුයි.
තවද ප්‍රාදේශීය මට්ටමේ සේවා සපයන ආයතන ගණනාවක් තැන තැන නිර්මාණය වී තිබේ. අපට හැකියාව තිබේ නම් මේ සියලු ආයතනවල ක්‍රියාවලීන් එක් වහලක් යටට ගැනීමට එයත් ජනතාවගේ සේවාවන් කාර්යක්ෂම කිරීමට මහත් රුකුලකි. අතීතයේදී මෙන් ජනතාවට සේවා සැපයීමේදී ඇති වන ගැටලුකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට වර්තමානයේදී තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව ඇත.
මේ සඳහා තාක්ෂණික යටිතල පහසුකම් දියුණු කිරීමට ද අවධානය යොමු විය යුතුය. ජනතාව පළාත් පාලන ආයතනවලින් ඉවත්වීම සිදුවන්නේ මේ සේවාවන් සපයන යන්ත්‍රණය ශක්තිමත් නොවීම හේතුවෙනි. මේ යන්ත්‍රණය ශක්තිමත් වීම තුළ අල්ලස සහ දූෂණය අවම කර ගැනීමේ හැකියාව ද පවතියි. ඒ වගේම ප්‍රාදේශීය නිලධාරීන් නිරන්තරයෙන් දැනුමින් සන්නද්ධ කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. එසේ වුවහොත් ප්‍රාදේශීය ආණ්ඩු ජනතාවගේ ආකර්ෂණීය ආයතන බවට පත් කර ගත හැකිය.
දිල්හානි ජයවර්ධන