Home » “ක්ලීන් කැන්ඩි” වැඩසටහනින් මහනුවර ක්ලීන් වෙයි

“ක්ලීන් කැන්ඩි” වැඩසටහනින් මහනුවර ක්ලීන් වෙයි

by sachintha
April 28, 2025 1:15 am 0 comment

මෙවර සිරි දළදා වන්දනා වාරය දැන් අවසන් ය. පසුගිය 18 දින මහජනතාවට සියැසින් දැක බලා ගැනීම සඳහා දළදා වහන්සේ ගන්ධ කුටියෙන් පිරිත් මණ්ඩපයට වැඩම වූයේ දහසය වසකට පසුය. දළදා වහන්සේ සියැසින් දැක ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාව මඟහැර ගැනීමට අකැමැති වූ දෙස් විදෙස් බෞද්ධයෝ මහනුවරට ඇදී ආවේ ජන ගඟක් ලෙසිනි. එය මෑත ඉතිහාසයේ එක් නගරයක් තුළට ඒකරාශි වූ වැඩිම ජන පිරිස යැයි පැවසීම වරදක් නොවන්නේ ඊට අදාළ විද්‍යාත්මක ගණනය කිරීමක සංඛ්‍යාලේඛන එළිදක්වා තිබෙන බැවිනි. කිලෝමීටර් හත අටක් දුරක් දක්වා මහජන පෝලිම් ඇදී ගියේය. දෛනිකව හැට දහසක පමණ පිරිසක් දළදා වහන්සේ වැඳ පුදා ගනිත් දී එම අපේක්ෂාව ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් පිටත රැඳී සිටි පිරිස ලක්ෂ තුනද ඉක්මවා ගිය අවස්ථා තිබිණි. මහනුවර නාගරික ජන සංඛ්‍යාව 125000කි. සාමාන්‍යයෙන් වැඩ කරන දිනක දිවා කාලයේ මහනුවර නගරයට ඒකරාශි වන ජන පිරිස ලක්ෂ 05කට ආසන්නය. දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර පාසල් බහුතරයක් හා ව්‍යාපාරික ස්ථාන ගණනාවක් වසා තැබීම හේතුවෙන් සාමාන්‍යයෙන් නගරයට පැමිණෙන ජන සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබිණි. එසේ වුවත් දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් දිවයිනේ සතර දෙසින් ජනතාව පැමිණීම හේතුවෙන් සෑම දිනකම දිවා කල මෙන්ම රාත්‍රියේ ද නගරයේ රැඳුණු ජන සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවිය.

දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් දන්සල් ලබා දීමට නම්, ඒ සඳහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්ය විය. මෙයට අනුගතව ලියාපදිංචිය ලබාගත් පිරිස 5000කි. විධිමත්ව ලියාපදිංචිය ලබාගත් අය විසින් සැදැහැවතුන් අතර ගත වූ දින 10 දී බෙදා දී තිබෙන වතුර බෝතල් සංඛ්‍යාව පමණක් ලක්ෂ 35කි. යෝගට් ප්‍රමාණය ලක්ෂ 05කි. මෙයට අමතරව බත්, බනිස්, පාන්, නූඩ්ල්ස්, කඩල ආදී ආහාර වර්ග ද අයිස්ක්‍රීම්, කිරි වැනි දේ ද සැදැහැවතුන් අතර බෙදා දීමට ව්‍යාපාරික ආයතන, සංවිධාන හා පුද්ගලයින් දැක්වූයේ දැඩි උන්නදුවකි. ශ්‍රී දළදා මාලිගාව මඟින් පැවැත් වූ දන්සලෙන් ද ලක්ෂ තුනකට වැඩි පිරිසකට රාත්‍රි ආහාරය ලබා දී තිබිණි. ඇත්තෙන්ම දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණි කිසිවකුට හෝ ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවුණි. දෛනිකව දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව හිමිවූයේ 55,000ත් 70,000ත් අතර පිරිසකටය. මේ නිසා පෝලිම්වල රැඳී සිටියවුන්ට දින 3-5 අතර කාලයක් දළදා වහන්සේ සියැසින් දැක ගැනීම සඳහා කාලය ගත කරන්නට සිදු විය. මොවුහූ ඉටි රෙදි එළා පදික වේදිකාවේම රැය පහන් කළහ. ශරීර කෘත්‍යය සඳහා පොදු වැසිකිළි පහසුකම් සලසා තිබුණ ද පෝලිම්වල රැඳී ඇතමුන් ඒ සඳහා ඒවා භාවිත කර නොතිබිණි. දන්සල් මඟින් ලබාදුන් ආහාර ප්‍රමාණය ඉක්මවා ලබා ගත් පිරිස් ඒවා පරිසරයට මුදා හැර තිබුණේ අවිධිමත් ලෙසය. පොලිතින් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍ය කානු පද්ධතියට පමණක් නොව වැවට පවා දමා තිබෙනු දක්නට ලැබිණි. මේ හමුවේ දළදා වන්දනාව සංවිධාන කමිටුව මෙන්ම මහනුවර නාගරික ජනතාව ද මුහුණ දුන් අභියෝගය වූයේ ඉක්මනින් මහනුවර නගරය පෙර පැවැති තත්ත්වයට ගෙන එන්නේ කෙසේද යන්නය.

දළදා වන්දනාව සඳහා පැමිණ සිටි සැදැහැවතුන් රැඳී සිටි ප්‍රදේශය ආශ්‍රිතව දෛනිකව කසළ ටොන් 35 – 40 අතර ප්‍රමාණයක් එකතු විය. ඉඳුල්, කඩදාසි හා පොලිතින් වෙන් වෙන් වශයෙන් කසළ බඳුන්වලට බැහැර කරන ලෙස කොතෙක් දැනුම් දී තිබුණද ඊට අනුගතව ක්‍රියාකර තිබුණේ ඉතා සුළු පිරිසකි. මේ නිසා දෛනිකව එකතු වන කසළ ගොහාගොඩ කසළ අංගණයේ දී වෙන් කිරීම නගර සභාවේ කම්කරුවන්ට දැඩි අභියෝගයක් විය. ඒ වෙනුවෙන් පැය 24 පුරා සේවය කරන්නට 10 දෙනෙකු යොදවා තිබිණි. මිශ්‍ර කසළ, පොලිතීන්, ඉදුල් ලෙස ගත වූ දින 10 දී නගර සභාව එකතු කර තිබෙන කසළ ප්‍රමාණය ටොන් 410කි. දළදා වන්දනාව ක්‍රියාත්මක වන අතරතුරම කසළ ඉවත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක විය. නගර සභාවට අමතරව ජනපති කාර්යාලයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ද ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ද ඊට එක් වූහ. සිරි දළදා වන්දනාව සඳහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් බැහැර කළ අපද්‍රව්‍ය පෙන්වා ඇතමුන් උත්සාහ කළේ නගරය විසාලා මහනුවරක් වී තිබෙන බව කියන්නට ය. දෛනිකව නගර සභාවේ කම්කරුවන් පැය 24 පුරා කසළ එකතු කිරීමේ කටයුතුවල නිරත වූහ. සැහැදැවතුන් අලුයම් කාලයේ නින්දේ පසුවන විට ඔවුන් ට බාධා වන පරිදි කසළ ඉවත් කිරීමට ඔවුන් කටයුතු නොකළ අතර එවැනි අවස්ථාවල ගත් ඡායාරූප ඇතැම් පිරිස් මහනුවර විසාලාවක් බව කියන්නට පාවිච්චි කළේය. අති විශාල පිරිසක් එකවර නගරයට ඒකරාශී වීම තුළ යම් අපිරිසිදු තත්ත්වයක් ඇති වුවද විසාලාවක තත්ත්වයක් කිසිවිටෙකත් දක්නට නොලැබිණි. ඒ සඳහා මහනුවර නගර වැසියන් ලබාදුන් දායකත්වය ද සුළුපටු නොවන්නේ ය. දින ගණන් පෝලිම්වල රැඳී සිටි සැදැහැවතුන්ට වැසිකිළි හා කැසිකිළි පහසුකම් ලබා දෙන්නට පෝලිම් අවට නිවෙස් හිමියෝ කටයුතු කළහ. කසළ බැහැර කිරීමේ දී පැවති අඩුපාඩු සම්බන්ධයෙන් යම් යම් විවේචන ඉදිරිපත් වුවද ඔවුහූ සියල්ල ඉවසා දරා ගනිමින් පෙරළා ජනතාවට උපකාර කළහ. මහනුවර මුස්ලිම් දේවස්ථානවල දොරවල් සැදැහැවතුන් වෙනුවෙන් විවෘත වූයේ ද මේ ආකාරයටය. විවේචන ඉදිරිපත් කරමින් අඩුපාඩුම දකින පිරිසක් කොයි කවදත් රටේ සිටි බව අපි දන්නෙමු. අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ක්‍රියාකාරීව ඉදිරිපත් වන පිරිසක් ද සිටිති. එම පිරිස මහනුවර ක්ලීන් කරන්නට පෙරමුණ ගෙන ක්‍රියා කළේ දළදා වන්දනාව ආරම්භ වී දින දෙක තුනක් ගත වූ තැන සිටය. සැදැහැවතුන් ගේ පහසුව හා ආරක්ෂාව වෙනුවෙන් කළ තාවකාලික ඉදි කිරීම් ඉවත් කිරීමෙන් පසු ජල බවුසර් උපයෝගි කරමින් නගරය සෝදා කානු පද්ධතිවලට ක්ලෝරීන් මුසු කිරීමට නගර සභාව සැලසුම් කර තිබේ. ක්ලීන් කැන්ඩි වැඩසටහන සඳහා දායකත්වය ලබාදෙන ලෙස රාජ්‍ය නොවන හා ස්වේච්ඡා සංවිධානවලින් ඉල්ලීමක් කරන්නට කල්පනා කළත් එසේ කරන්නට පෙර අපේක්ෂා කළ ප්‍රමාණය ද ඉක්මවා විවිධ කණ්ඩායම් මෙම වැඩසටහනට එක්වීමට කැමැත්ත පළ කළ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ය. එය යථාර්ථයක් බවට පත් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හා සිසුන් 300ක පමණ පිරිසක් ඊයේ (27) පැය තුනක කාලයක් මහනුවර නගරය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ zero ප්ලාස්ටික් සංසදය, ගවේෂකයින්ගේ සංගමය හා කාර්ය මණ්ඩලය දියත් කළ මෙම වැඩසටහන සඳහා පහසුකම් සැලසීම සිදුකර තිබුණේ මහනුවර මහ නගර සභාව ය. මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව හා සිවිල් සංවිධාන එකමුතුව ද නගරය පිරිසිදු කරන්නට එක්ව තිබුණේ සාමාජිකයින් සිය දෙනෙකු සමඟය. සිරි දළදා වන්දනා මෙහෙයුම් කමිටුවේ ප්‍රධානි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අපේක්ෂාව “ක්ලීන් කැන්ඩි” ඔස්සේ දළදා වන්දනාව ආරම්භ වීමට පෙර පැවැතියාටත් වඩා පිරිසුදු තත්ත්වයට මහනුවර ගෙන ඒමය. ඒ සඳහා පමණ ඉක්මවා සමාජ කණ්ඩායම් දායකත්වය ලබා දී තිබේ. දේශපාලන වාසි සඳහා නැති ප්‍රශ්න මතුකර දක්වමින් ප්‍රශ්න මඟහැර යන්නන්ට අභියෝග කරමින් මහනුවර ක්ලීන් කිරීම යථාර්ථයක් බවට පත් කිරීමට කිසිදු පෞද්ගලික අරමුණකින් තොරව දායකත්වය ලබාදෙන සියලු දෙනාට මහනුවර ජනතාවගේ ආචාරය හිමිවිය යුතුය. නව රජය බලයට පත්වීමෙන් පසු “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හඳුන්වා දුන්නේය. එහි සැබෑ අරමුණ නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වූ ඇතැමුන් සිතුවේ මෙය කුණු කසළ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ලෙසිනි. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ රජය අපේක්ෂා කළේ කුමක් ද යන්න තේරුම් ගැනීමට දළදා වන්දනා සමය බොහෝ උදාහරණ සපයා තිබේ.

“ක්ලීන් කැන්ඩි” වැඩසටහනට දායකත්වය ලබාදීමේ අරමුණින් ඊයේ (27) පස්වරු 3.00 පමණ වනවිටම 500 ක පමණ පිරිසක් මහනුවර සහස් උයනට රැස්ව සිටියහ. මුහුණු පොත ඔස්සේ සංවිධානය වූ මෙම පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මහනුවරට පැමිණ තිබුණේ වැසි තත්ත්වය ද නොතකමිනි. මහනුවර ක්ලීන් කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ඇතමුන් පෞද්ගලික වාහනවලට අමතරව කුලී පදනම මත වාහන රැගෙන විත් තිබුණේ එකතු කරන කසළ යළි රැගෙන යාමටය. කසළ ඉවත් කර නගරය පිරිසුදු කිරීම එකකි. ඊට පෙර විධිමත් ලෙස කසළ පරිසරයට බැහැර කිරිම ද වැදගත්ය. බොහෝ දෙනෙකුට මෙය අමතකව තිබිණි. තමන් කළ වරද දළදා වන්දනා කර නගරයෙන් පිටත්ව යද්දී බොහෝ දෙනෙකු තේරුම් ගෙන තිබිණි. ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව යහපත් වැඩක් වෙනුවෙන් පොදු එකඟතාවකට පැමිණ කටයුතු කිරීම ද “ක්ලීන් ශ්‍රී ලංකා” හි අන්තර්ගත වූවකි. එය පමණ ද ඉක්මවා අපි දළදා වන්දනා සමයේ දී දුටුවෙමු. සමාජය පරිවර්තනයක් සඳහා ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති විය යුතුයි. ඒ සඳහා වන පදනම දැන් වැටී තිබේ. “ක්ලීන් ශ්‍රී ලංකා” හි යථාර්ථය තේරුම් ගැනීමට මෙවර දළදා වන්දනා වාරය තුළින් මතු වූ සිදුවීම් හොඳටම ප්‍රමාණවත්ය.

අසේල කුරුළුවංශ සහ මධ්‍යම පළාත් සමූහ-නිහාල් ජයවර්ධන

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT