Home » ආදරය ජීවිතය නෙවෙයි, ආදරය ජීවිතයේ කොටසක් පමණයි

ආදරය ජීවිතය නෙවෙයි, ආදරය ජීවිතයේ කොටසක් පමණයි

by sachintha
April 28, 2025 1:42 am 0 comment

ඉඩම් හිමි රදළයෙකු වුණ ටොල්ස්ටෝයි රුසියානු විප්ලවයට වචනයකින් වත් සහාය දුන්නේ නැතත් ඔහුගේ කෘති හරහා විප්ලවයට සිදු වුණ සේවය නිසා ලෙනින් ලියෝ ටොල්ස්ටෝයි හැඳින්නුවේ “රුසියානු විප්ලවයේ කැඩපත” කියලා. ටොල්ස්ටෝයි, ඔහුගේ “කලාව යනු කුමක්ද” නම් පොතේ කලාව පිළිබඳව කෙටියෙන් හැඳින්නුවේ මෙහෙමයි.

“කලාව යනු එකම අත්දැකීමක් මඟින් මිනිසුන් සුසංයෝග කරන මාධ්‍යයක් පමණක් නොව පුද්ගලයන් හා මිනිස් සංහතියේ පැවැත්ම හා අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයක් වන්නේය. සෑම කලාවකම ලක්ෂණය වන්නේ මනුෂ්‍ය වර්ගයා සුසංයෝග කිරීමයි.”

අප වර්තමාන නිර්මාණ නිර්දය ලෙස විවේචනය කරනවා නෙවෙයි. වර්තමානයේ අගනා නිමැවුම් රැසක් තියෙනවා. නමුත් මතුපිටින් අපට පෙන්නන වීදුරු කැට නිසා මැණික් පෙනෙන්නේ නැහැ. අනික කලාව තියෙන්නේ ජීවිතයට ආතල් එකක්, ෆන් එකක් ගන්නම නෙවෙයි. එහි මුඛ්‍යම අරුත මිනිස් අත්දැකිම් තුළින් ආධ්‍යාත්මයන් වර්ධනය කිරීම. සමස්ත කලාවම ජීවන දර්ශනයක්. විරාගය, තුංමං හංදිය, හෙවණැල්ල, කරුමක්කාරයෝ, සැළලිහිණි සන්දේශය, ප්‍රබුද්ධ, හයේ වාට්ටුව, ගුරු ගීතය වැනි සාහිත්‍ය නිර්මාණ ඔබ කියවා ඇත්නම්, අපි ඉහත පැවසූ අදහස සමඟ ඔබ එකඟවෙයි. එසේම ඉහත දැක්වූ නිර්මාණ පෞද්ගලිකව අපේ ප්‍රියතාවයන් නිසා දැක්වූ බව සලකන්න. ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජෙසිංහයන් අතින් ලියවුන, නැසීගිය මානව හිතවාදි ගායක ගුණදාස කපුගේ ගායනා කළ අපේ කාලයේ අගනා නිමැවුමක් වෙත දැන් අපි අවධානය යොමු කරමු.

“නින්ද නැති රැයේ

සඳ කඳුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද

ප්‍රථම ප්‍රේමයේ

තාරුකා දියේ ගිලි

නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවි

රෝස පෙති කඩා හැලේ”

ප්‍රථම ප්‍රේමයේ විරහව දරාගෙන දූක්වෙන පෙම්වතකුගේ චිත්ත සන්තානය තුළ නැඟෙන ඒකපාර්ශ්වික සිතුවිලි දැහැන ඉතාම සුමටව ඉහත ගීතය තුළින් රත්න ශ්‍රී කවියා ප්‍රකට කරනවා. සඳ පෑයු රාත්‍රියක අහස දෙස බලන තරුණයාට ප්‍රථම ප්‍රේමයේ මතක සිහියට නැඟෙනවා. මීදුමෙන් වැසුණු සඳ ඔහුට පෙනෙන්නේ ප්‍රථම පෙම්වතියගේ දුක්මුසු මුහුණ වගේ. මේ රාත්‍රියේ තමා දුක්වෙනවා වගේම ඇයත් දුකෙන් අඬනවා ඇති. ඒ වගේම නිවී නිවී දිලෙන තරු ඔහුට පෙනෙන්නේ කඳුළින් පිරුණු ඇගේ ඇස් වගෙයි. එම නිසා තරු කැට වැනි ඇගේ ඇස් කදුළින් බොඳවී, එහි දිප්තියන් මැකී, ඇයගේ නෙත් ගිලි ගොස් ඇතැයි සිතන ඔහුට කවුළුවෙන් එපිට පරවුණු රෝස මලකට වැහි බිංදු වැටෙනවා දකින විට මතකයට නැඟෙන්නේ ප්‍රථම පෙම්වතියගේ සුමුදු කොපුල්. රෝස පෙතිවලට වැහි බිංදු වැටෙන්නා වගේම ඇයගේ කොපුල්වලට ද දැන් කඳුළු බිංදු වැටෙනවා ඇති.

“කිලිපොළා සැලී යමින්

නොයින් සීතලේ

තුරුලුවෙමි දෙනෙත් පියා

ඔබගේ උණුසුමේ

ජීවිතය ඉතිං අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදිවි

යා යුතුව තිබේ”

මේ සීතල රාත්‍රියේ තවදුරටත් ඔබ ගැන සිත සිතා හිඳීමෙන් තවත් ඵලක් නොවන බව මම දන්නවා. නමුත් තව තවත් ඔබ ගැන සිතන්නට මම කැමැතියි. ඒත් අපේ ජීවිතය සැලෝලයිට් පටයක දිගහැරෙන මහා සිනමාවක් මෙන් සිහිනයක් නොවන නිසා, දිගු දිවියේ බර අදින්න මම හෙට උදේම අවදි විය යුතුයි. ඒත් හැමදාම වගේ අදත් මම නින්දට යන්නේ මගෙන් බොහෝ දුරස් වූ ඔබගේ උණුසුම තුරුලුකරන්.

“රැය ගෙවේ සඳත් නිවේ

දුරයි ජීවිතේ

ඉතිං අවසරයි මගේ පුංචි කුමරියේ

කටුවලට දෙතොල් තියා

මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි

සොඳුර ඒ මගේ”

ලොව සියල්ලම අනිත්‍යයේ ලක්ෂණ පෙන්වන නිසා, ඔබ පිළිබඳව මතකයන් අවදි කළ මේ රැයත් ඔබේ මුහුණ වැනි සඳ හංගලා තව සුළු මෙහොතකින් ගෙවිලා යයි. ඉතිං මම ඔබේ ජීවිතයේ තවදුරටත් අතරමැදියෙක් නොවෙයි. මගේ රෝස මල දැන් මට අහිමිව ඇත. ඒ මල කිසිවකු විසින් නෙළාගෙන ඇත. දැන් මට උරුමව ඇත්තේ කටු සහිත නටුව පමණයි. නමුත් මම ඒ මල උදුරා ගැනීමට දුෂ්ටකම් කරන්නේ නැහැ. අතීත සැමරුම් මතකයට නැගීම හදවතට බොහෝ රිදුම් දුන්නත්, මම ඒ සැමරුම් තුළින් තවමත් අපේ ආදරය විඳිනවා. ජීවිතය ආදරය නොවෙයි, ආදරය ජීවිතයේ කොටසක් බැවින් ජීවිතය බොහෝ දුරයි කියලා මට දැන් හිතෙනවා. පුංචි කුමරියේ, ශීත සෘතුව නිමවු පසු අනිවාර්යයෙන්ම වසන්තය එන නිසා, මම මේ කටු පොකුරු සිප ගන්නේ, හෙට මලක් වනු පිණිසයි. මතක තියාගන්න, මම ඔබට තාමත් ආදරෙයි, ඔබට සුභ රාත්‍රියක්.

*************

ඔයා මේ ලෝකයට ආවේ රස්සාවක් කරන්න නෙවෙයි, ජීවත් වෙන්න. රස්සාවක් කරන්න ජීවත්වෙන්න එපා. ජීවත්වෙන්න සතුටින් රස්සාවක් කරන්න. අප හිතුවොත් ස්වභාවධර්මය තමයි කලාව, ගණිතය, කළමනාකරණය ඇතුළු මේ සියල්ලේ මහමොළකරුවා කියලා. සංගීතය, සිතුවම්, කවිය හැඩතල අපූරු වර්ණ සුවඳ නියම ස්ථානගත කිරීම් ව්‍යංගය යන සියල්ලම ඒ තුළ පවතිනවා නේද? ඒ සියල්ලන්ටම යටින් සොබාදම් දිනිතිය අපිට ගැඹුරු ජීවන දැක්මකුත් පසක් කරනවා. පිපී පරවෙන මලත්, නේක බාධා ඔස්සේ ගලන ගඟත් අපේ ජීවිතය වගේ නොවෙයි ද?.

ජීවත්වීම කලාවක් ලෙස හිතන්න කියලා අප ඔබට කිවුවා. ජීවත්විම ක්‍රීඩාවක් කියලා තවත් කෙනෙක් කියයි. ඇත්තටම ජීවිතය ඔය මොකක්වත් නෙවෙයි අර සිංදුවක සඳ සඳ වගෙයි, තරු තරු වගෙයි කියනවා වගේ ජීවිතය ජීවිතය වගෙයි. අපි ජීවිතයේ කටුක බව, සංකීර්ණ බව අවම කරගන්න ඔහොම මොන මොනවා හරි කියලා හිත සැහැල්ලු කර ගනිමු. මතු ආත්මයක් තිබුණත් නැතත්, ඔබ සර්ව බලධාරි දෙවියන් වෙතට ගියත් නැතත්, යළිත් මෙම ජීවිතයම නැවත නොලැබෙන නිසා, මේ ජීවිතය රසවිඳින්න. ඒ රස විටෙක තිත්තයි, තවත් විටෙක පැණි රසයි. ශරීර කූඩුවට වඩා විශ්වාසය තබාගත හැකි මනස දියුණු කරගන්න අන්ධ භක්තියෙන් බැහැරව සෑබැ පියවරක් තබන්න. ඒ සඳහා නම් ඔබ ආධ්‍යාත්මික සංචාරකයෙකු විය යුතුමයි. බුද්ධිමත් සංවාරකයා වෙහෙස නිවා ගන්නේ කියවීමෙන් සහ අධ්‍යයනයෙන්. දවසක් ඉහ නිකට පැසුණු මගේ තාත්තා මට මෙහෙම දෙයක් කිවුවා.

“ජීවිතයේ සැඳෑ සමයේ දි අපේ පාළු මකන්න යාළුවෝ එන්නේ නැහැ. ඒ කාලේදි අපේ පාළු මකන්නේ පොත් පත්, එහෙමත් නැත්නම් අප විසින් ප්‍රගුණ කළ කලාවක්. එම නිසා ජීවිතයේ පාළු මකන පොත්වලට ආදරය කරන හිතක් හදාගන්න.”

කැලුම් වැලිගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT