රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන හයයි දශම නවයක (6.09) පාඩුවක් සිදුකරමින් මීට වසර හතරකට පෙර (2021) චීනයේ සමාගමකින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාලව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු ලබන මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළාය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන මහේෂ් ගම්මන්පිල නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකාර හිටපු අතිරේක ලේකම්වරයා විසින් කර ඇති එම ක්‍රියාව දුෂණය නමැති වරදට ගැනෙන බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු අධිකරණයට කරන ලද ඉල්ලීමක් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.
චීනයේ Qingdao Seawin Biotech නැමැති සමාගමේ පළමු පොහොර තොගයෙන් සියයට 75 ට එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක් ගෙවීමට සිදුවීමෙන් රජයට අයුතු සහගත පාඩුවක් සැකකාර පුද්ගලයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වුහ.
සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටිමින් කියා සිටියේ,
” ස්වාමීනි, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන කාල වකවානුව තුළ මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ, එම කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව හිටපු හිටපු ලේකම්වරයා එසේ ක්‍රියාකර තිබෙනවා” යනුවෙනි.
කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව තම සේවා දායකයා එම කටයුත්ත සිදු කර ඇති බැවින් ඔහු වරදකරුවකු නොවන බව සැකකාර පුද්ගලයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු තවදුරටත් අධිකරණය හමුවේ පැවසූහ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු හා සැකකාර හිටපු අතිරේක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරු දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු මැයි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.
ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්නේ