Home » ‘‘මට හිටපු එකම පුතාට එයාගේ යාළුවෝ එකතු වෙලා පහරදී ඝාතනය කළා”
දුරකතන ඇමතුමකින් මිතුරා මඟට ගෙන්වා පහරදී මරණයට පත් කිරීමේ සිද්ධිය

‘‘මට හිටපු එකම පුතාට එයාගේ යාළුවෝ එකතු වෙලා පහරදී ඝාතනය කළා”

-පහරදීමෙන් මියගිය තිළිණ විරාජ්ගේ මව ගෝවින්දන් පුෂ්පරාණි

by sachintha
April 28, 2025 1:02 am 0 comment

‘‘මමයි මගේ දුවල දෙන්නයි විදේශගත වී රැකියාවක් කරමින් සිටියේ. ගෙදරින් දුරකතන පණිවිඩයක් ආවා පුතාට අසනීපයි ගෙදර එන්න කියලා. කවදාවත් ඒ වගේ හදිසි පණිවිඩක් එන්නේ නැති නිසා කරදරයක් වෙන්න ඇති කියලා මම ලංකාවට ආවේ 20 වෙනිදා. මම එනකොට පුතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා. මගේ පුතාට එක වචනයක්වත් කතා කරන්න බැරි වුණා.‘‘ හැඬූ කඳුළින් යුතුව මියගිය තිළිණ විරාජ්ගේ මව වන ගෝවින්දන් පුෂ්පරාණි ( 45) මහත්මිය පැවසුවාය.

නිවස අසල දේවස්ථානයක ඉකුත් අපේ‍්‍රල් 16 වෙනි දින පැවැත්වූ පූජාවකට සහභාගී වී සිටිය දී දුරකතන ඇමතුමකින් ගෙන්වා‍ෙගන කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් මිතුරන් එකොළොස්දෙනකු පමණ පහරදීම හේතුවෙන් මරණයට පත් තිළිණ විරාජ් ශිෂ්‍යයාගේ මව එසේ ප්‍ර‍කාශ කළාය.

තිළිණගේ අවසන් කටයුතු ඉකුත් 25 වැනිදා සිදු කෙරිණි. සිංහල අවුරුදු අවසන් වනවාත් සමඟම මාවතගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ මේ දුක්මුසු පුවතයි. වෙලගෙදර පොලිස් බලප්‍රදේශයේ අඹකොටේ, සැකරලියවත්ත පදිංචිව සිටි තිළිණ විරාජ් තරුණ දරුවා පාසල් මිතුරන්ගේ කර මතින් ඉකුත් 25 වෙනි සිකුරාදා අවසන් ගමන් ගියේ තමා අධ්‍යාපනය ලැබූ බුලූවල මහා විද්‍යාලය ඉදිරිපිටින්ය.

තිළිණගේ මව වැඩිදුරටත් මෙසේ පැවසුවේ හැඬූ කඳුළිනි.

‘‘මගේ පුතා අවසාන වතාවට කතා කළේ අවුරුද්ද දවසේ 14 වෙනිදා. පුතා කිවුවා අම්මේ මට කලිසමක්, ටී ෂර්ට් එකක් ගේන්න කියලා. අමතක නොකර ඔරලෝසුවක් ගේන්න අම්මේ කිවුවා. ඉන්පසු වචනයක්වත් දරුවා සමඟ කතා කරන්න බැරි වුණා. පුතාගේ යාළුවෝ එකතු වෙලා මගේ පුතාට මේ විදියට පහර දුන්නේ ඇයි කියන එක මට දරාගන්න බෑ. මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. දුවල දෙන්නයි මට හිටපු එකම පුතා යාළුවෝ පහර දී ඝාතනය කරලා. මෙවැනි දුකක් අම්මා කෙනෙකුට කොහොම දරාගන්න ද? මේ ලෝකේ කිසිම අම්මෙකුට මෙහෙම වෙන්න එපා. කිසිම දරුවකුට මෙහෙම වෙන්න එපා.“

කුරුණෑගල බුලූවල මහවිද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියේය.

සැකකරුවන් තිදෙනෙක් 16 වෙනි දින වෙලගෙදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන 17 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කර ඇත. ඉන් අනතුරුව ඉකුත් 22 වැනිදා තිළිණ විරාජ් මියයාමත් සමඟ ප්‍රදේශවාසින් වෙලගෙදර පොලීසිය ඉදිරිපිටට පැමිණ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධයක් දැක්වූහ. සවස 6.00 වන විට සැකකරුවන් 8 දෙනෙක් මාවතගම පොලිසියට භාර වූ බවත් ඔවුන් පසුදින පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 18 ට වැඩි දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර 6 දෙනකු පරිවාස භාරයට පත් කර ඇති බවට වාර්තා විණි.

මාවතගම විශේෂ – ආනන්ද විජේතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT