තරුණයන් නඟා සිටුවන වැඩපිළිවෙළ වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත්, ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ පැවසීය. ජාතික තරුණ සේවා සභාවේ 2025 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා ඉදිරි තරුණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා (24) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත් වූ අතර එහිදී ඔහු මේ බව පැවසීය.
මෙම සාකච්ඡාවට තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර සහ ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහත්වරු ද දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීන්, පළාත් තරුණ සේවා අධ්‍යක්ෂවරු, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරු, තරුණ සේවා නිලධාරීන් සහ තරුණ සේවා සභාවේ නිලධාරීහු ද එක්ව සිටියහ.
දිවයිනේ සියලු තරුණ සේවා නිලධාරීන් සමඟ තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව මෙලෙස සාකච්ඡාවක් පවත්වා ඇත්තේ පළමු වතාවට වන අතර, මින් පෙර පැවැති කිසිම රජයක් තරුණ සේවා නිලධාරීන් සමඟ ජාතික තරුණ සේවා සභාවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කර නැති බව සඳහන් වේ.
එම සාකච්ඡාවේ දී ජාතික තරුණ සේවා සභාව මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව ජාතික තරුණසේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සුපුන් විජේරත්න විසින් ඉදිරිපත් කළ අතර, ඒ අනුව යෞවන සමාජ පිහිටුවීම සිදු කිරීමට නියමිත අතර, බහුවිධ මධ්‍යස්ථාන පිහිටුවීම, ස්වෙච්ඡා සේවය දිරිගැන්වීම, Youth App, හවසට ITE, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ නව නිර්මාණකරුවන්ගේ දක්ෂතා එළිදැක්වීම යන නියමු ව්‍යාපෘති මේ වසරේදී සිදු කිරීමට නියමිතය.
තරුණ සේවා සභාව සන්නාමකරණය, තරුණ සේවා සභාව ඩිජිටල්කරණය, කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, ජාතික තරුණ සේවා සභාවේ භෞතික සැලැස්ම සකස් කිරීම, තරුණ සේවා සභාවේ පුරප්පාඩු පිරවීම සහ අභ්‍යන්තර උසස්වීම් ලබාදීම, සියලු ව්‍යාපෘති අධීක්ෂණය සහ නියාමනය කිරීම මේ වසරේ දී ආරම්භ කරන බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මලිඳු තෙන්නකෝන්