Home » ලෝක බැංකු විශේෂ දූත පිරිසක් දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණයේ

ලෝක බැංකු විශේෂ දූත පිරිසක් දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණයේ

by sachintha
April 28, 2025 1:27 am 0 comment

දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ කටයුතු සඳහා දායකත්වය සපයන ලෝක බැංකුවේ 14 වැනි විශේෂ දූත පිරිස, එම ව්‍යාපෘතියේ උතුර, නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වල ප්‍රගතිය නිරීක්ෂණයට පසුගියදා එක්වූහ.එහිදී ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල සමස්ත ප්‍රගතිය සමාලෝචනය, මූල්‍ය, ප්‍රසම්පාදන සහ සමාජ ආරක්ෂක ප්‍රතිපත්ති විමර්ශනය, ආයතනික විධිවිධාන සහ ව්‍යාපෘති කළමනාකරණ ව්‍යුහයන්ගේ සඵලතාව ඇගයීම, ව්‍යාපෘති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමේ බාධකවලට පිළියම් යෙදීම, පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය සහ සම්බන්ධීකරණ යන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා ඇති වූ බලපෑම පිළිබඳ කරුණු දැන ගැනීමට ප්‍රතිලාභීන් සමඟ සාකච්ඡා කිරීම මෙහිදී ලෝක බැංකු නියෝජිතයෝ සිදු කළහ.

නියඟය, නිසි කලට වැසි නොලැබීම සහ වගා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොමැතිවීම නිසා බැට කන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීමේ අරමුණින් වියළි කලාපයේ කුඩා වැව් පද්ධති කේන්ද්‍ර කොටගෙන ශ්‍රී ලංකා රජය ලෝක බැංකුවේ ණය ආධාර ඇතිව සුවිශේෂී වැඩසටහනක් ලෙස දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

2019 සිට 2025 දෙසැම්බර් මස දක්වා වසර 6ක් ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතියට ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මූල්‍ය ප්‍රතිපාදන සපයයි. ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 10ක් සහ ප්‍රජා දායකත්වය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 5ක් ලෙස මුළු ව්‍යාපෘති පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 125කි.

වියළි කලාපයට අයත් පළාත් 6ක පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන හතළිස් හතක් කේන්ද්‍ර කරගෙන අනුරාධපුරය,පොලොන්නරුව, කිළිනොච්චිය, මුලතිව්, කුරුණෑගල, පුත්තලම්, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විශේෂඥ සහ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ කාර්ය කණ්ඩායම් නායක (Task Team Leader) ආචාර්ය ෂේව් සලාවු මහතාගේ නායකත්වයෙන් යුත් මේ ලෝක බැංකු විශේෂ නියෝජිත පිරිසට ජල සම්පත් කළමනාකරණ විශේෂඥ සහ ව්‍යාපෘතියේ සම කාර්ය කණ්ඩායම් නායක තිරුණි ලියනගේ, ජ්‍යෙෂ්ඨ කෘෂිකාර්මික විශේෂඥ ආචාර්ය අතුල සේනාරත්න, කෘෂිකර්ම විශේෂඥ සෞම්‍යා ශ්‍රීවස්තාවා, කෘෂිකර්ම සහ ග්‍රාම සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක සීනිතම්බි මනෝහරන්, අධීක්ෂණ සහ ඇගයීම් උපදේශක ජගත් සෙනෙවිරත්න සහ අගය දාම සහ කෘෂි ව්‍යාපාර උපදේශක සංජීව රුද්‍රිගු යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT