Home » ලබන වසරේ සිට කාටවත් වධයක් නැති අධ්‍යාපන ක්‍රමයක් ගේනවා

ලබන වසරේ සිට කාටවත් වධයක් නැති අධ්‍යාපන ක්‍රමයක් ගේනවා

-අගමැතිනී කුරුණෑගල ජනහමුවලදී කියයි

by sachintha
April 28, 2025 1:11 am 0 comment

ළමයින්ටත්, මවුපියන්ටත්, ගුරුවරුන්ටත් වධයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට ආරම්භ කරන බවත් පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, වීරඹුගෙදර, පිදුරුවැල්ල, පීලැස්ස, මාවතගම සහ පරගහදෙණිය ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අගමැතිනිය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් ඇය මෙසේද ප්‍රකාශ කළාය.

රජය සෑම ක්ෂේත්‍රයකම තිබෙන ගැටලු හඳුනා ගනිමින්, ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරමින්, අවශ්‍ය දක්ෂ නිලධාරීන් තෝරා ගනිමින් කටයුතු කරගෙන යනවා. ඒ ව්‍යාපෘති ගමට ගේන්න මේ මැතිවරණය අපට සුවිශේෂයි. දේශපාලනයේ ඉහළ ස්තරය පිරිසුදු කළා වගේම බිම් මට්ටමත් පිරිසුදු විය යුතුයි. අපේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට තියෙන්නේ වෙනස් වුවමනාවක්. මේක විපක්ෂයට දේශපාලන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් කියලා අපට තේරෙනවා. නමුත් අපිට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපට පාලන ව්‍යුහය හරියට හදාගෙන ඉන්න ඕනෑ. මම දැක්කා එජාපය කියලා තිබෙනවා අගෝස්තු වෙනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා කියලා. මං දන්නේ නෑ කොහොමද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස දෙසැම්බර් වෙනවිට ජනාධිපති වෙනවා කියලා කිවුවා. ඇත්තටම මං දන්නේ නෑ මේවා කොහෙන් මතුවෙන අදහස් ද කියලා. විහිළු සපයන ඒ ව්‍යාපාර දිහා අනුකම්පාවෙන් බලලා අපේ ගමන අපි යන්න ඕනෑ. අපේ ගමන අපට හරියට යන්න අවශ්‍ය ඒ කණ්ඩායම පත් කර එවන එක තමයි ඔබ කරන්න ඕනෑ.

දේශපාලන සංස්කෘතිය තුළ අපි කර තිබෙන වෙනස ජනාධිපති සහෝදරයා ජනාධිපති වුණ මොහොතේ සිටම ඔබ දකින්න ඇති. අපි මේ රටේ ජනතාවට බරක් නොවන විදිහට ආණ්ඩුව ගෙනියන්න සෑම උත්සාහයක්ම ගන්නවා. දේශපාලනඥයන්ට ඕනෑ විදිහට නටන්න අපි ඉඩ තියන්නේ නැහැ. අමතර වියදම්, නාස්තිය, හොරකම් සියල්ල නතර කර තියෙන්නේ. තවදුරටත් අපිට කාටවත් දැන් චෝදනා කරන්න බැහැ හොරකම් කරනවා කියලා.

මේ වනවිට මහනුවරට විශාල පිරිසක් පැමිණෙනවා. මහනුවර දළදා වන්දනාවට ගිය බැතිමතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් ජනතාව පල්ලි විවෘත කර දුන්නා. ව්‍යාපාරික ස්ථාන විවෘත කර දුන්නා. රටේ ජනතාවට එවැනි සාමූහික හැඟීමක් ඇති වෙලා තිබෙනවා.

අපේ දරුවන්ට දැනුම තිබුණත් ලෝකය ඉදිරියට යන්න පුළුවන් කුසලතා ආකල්ප වර්ධනයේ බරපතළ ගැටලු තියෙනවා.

එතකොට ඒක විතරක් නොවෙයි. ඊටත් එහා ගියොත් ඒ කියන්නේ අධ්‍යාපනයේ අඩුම තරමේ ඒ දැනුමක ආකල්ප සහ කුසලතා අධ්‍යාපන ක්‍රමයේ හරියට සිද්ධ වෙන්නේ නැති නිසා විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා.

පාසල් අතර විෂමතාවක් තියෙනවා. හොඳ පාසල් හොඳ නැති පාසල්, ජනප්‍රිය පාසල් ජනප්‍රිය නොවන පාසල්, පාසල් අතර විශාල තරගකාරීත්වයක් ඇතිවෙලා තියෙනවා. උසස් පෙළ හදාරන ළමයි පාසල් යන්නේ නැහැ. පාසලට යන්නේ රෙජිස්ටර් එකේ නම දාගන්න විභාගයට පෙනී සිටින්න විතරයි. පිරිමි දරුවන් ශීඝ්‍රයෙන් අධ්‍යාපනයෙන් හැලෙනවා. පාසල්වලත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ දැනුම විතරක් නොවෙයි. සමාජයට අවශ්‍ය ගුණාංග, ආධ්‍යාත්මික දියුණුවත් අවශ්‍යයි. මේක වෙනස් කරන්න අපි මැදිහත් වෙන්න ඕනෑ. එතකොට අධ්‍යාපනයෙන් මේ ආර්ථිකයට මේ සංවර්ධන සැලැස්මට සම්බන්ධ වෙන්න පුළුවන් කුසලතා තිබෙන පිරිසක් බිහිවෙන්නත් ඕනෑ.

ගුරු විද්‍යා පීඨවල ලබා දෙන්නේ පුහුණුවක් නෙමෙයි. ඒක නවකවදය වගේ එකක්. නේවාසික පහසුකම් නෑ. සනීපාරක්ෂක පහසුකම් නෑ. ඉගෙනුම් පහසුකම් නෑ. වසර පහළොවකින් විෂය නිර්දේශ වෙනස් වෙලා නෑ. ගුරුවරුන් පුහුණු කරන්න සුදුසු ආචාර්ය මණ්ඩල නෑ. මේ සියල්ලම අපට නිවැරදි කරන්න වෙලා තිබෙනවා.

පාසල්වල විෂය මාලා හඳුන්වාදීම, ගුරු පුහුණුව, පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අපි කටයුතු කරමින් යනවා. ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනයේ බරපතළ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳව නිවැරදිව නිරීක්ෂණය කර අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය නිර්දේශ කඩිනමින් ලබා දෙන්න මේ වන විට කමිටුවක් පත් කර තිබෙනවා.

මේ සියල්ල ගමේ ක්‍රියාත්මක කිරීමට බිමේ පිරිසුදු නායකත්වය හරිම වැදගත් බවත්, මැයි 6 වැනිදා විශිෂ්ට ජයක් ජාතික ජන බලවේගයට ජනතාව ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා.

මේ රට වෙනස් වෙමින් යනවා. ඒ අනුව අපිත් අලුත් විදිහට කටයුතු කරන්න ඕනෑ. අලුත් විදිහකට අපි වැඩ කරන්න ඕනෑ කියන හැඟීම ජනතාවට එන්න පටන් අරගෙන තියෙනවා. ඒක අපේ අමාත්‍යාංශවලත් අපට පේනවා. පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ඉතිහාසයේ පළමු වතාවට නුවර පල්ලි දළදා වඳින්න එන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘත වුණා

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

ඉතිහාසයේ පළමු වතාවට නුවර පල්ලි දළදා වඳින්න එන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘත වූ බවත්, ජාති ආගම් භේද නොමැතිව සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් බවට ජනතාව හිතන්න පටන්ගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මේ රට වෙනස් වෙමින් යනවා, ඒ අනුව අපිත් අලුත් විදිහට කටයුතු කරන්න ඕන. අලුත් විදිහකට අපි වැඩ කරන්න ඕන කියන හැඟීම ජනතාව තුළ එන්න පටන් අරගෙන තියෙනවා. ඒක අපේ අමාත්‍යාංශවලත් අපිට පේනවා. මේ දවස්වල සමහර වෙලාවට අමාත්‍යාංශයට යන්නේ බොහෝ විට හවස 5 පහුවෙලා. ඒ ගිහින් සාකච්ඡාවක් ගන්න කමක් නැද්ද ඇහුවම නිලධාරීන් කියනවා කමක් නෑ වෙලාව ප්‍රශ්නයක් නෑ කියලා. අද රාජ්‍ය නිලධාරීන් රෑ වෙනකම් වැඩ කරන්න පටන් අරගෙන රාත්‍රී නවය දහය වෙනකම් වැඩ කරන්න ඒ අය සූදානම්. නිලධාරීන් දැන් බය නැතුව වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා.

මේ දවස්වල දළදා වන්දනාව සිද්ධ වෙනවා. එතන ජනතාව කොහොමද හැසිරුණේ කියලා බලන්න. විශේෂයෙන්ම ඉතිහාසයේ පළමු වතාවට නුවර මුස්ලිම් පල්ලි මුළු රෑ පුරාම දළදා වඳින්න එන ජනතාව වෙනුවෙන් විවෘත වෙලා තිබුණා. නිදාගන්න ඉඩ දුන්නා. එතන ජාති ආගම් ප්‍රශ්න තිබ්බේ නෑ. එතන තිබුණේ වෙනත් ජාතියකට ගරු කිරීමක්, වෙනත් ආගමකට ගරු කිරීමක් තිබුණේ. මෙහෙම වෙන්නේ සිංහල, මුස්ලිම්, දෙමළ නෙමෙයි සියලු ජනතාව නියෝජනය කරන ශ්‍රී ලාංකික ආණඩුවක් කියන හැඟීම නිසා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT