හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන “පොන්නන් සංගර්” නාට්‍ය විදහා දැක්වීමට ඊයේ (27) දින උදැසන අඩි 60ක් උස කණුවකට නැඟ එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව
රඟදැක්වූ තිදරු පියකු එම කණුවේ මුදුනේ සිට බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇතැයි නානුඔය පොලීසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් ග්ලාස්කෝ වතුයායේ පදිංචිව සිටි මුරුගන් සන්මුගම් නමැති 63 හැවිරිදි තිදරු පිෙයකි.
සෑම වසරකම එම වතුයායේ වතු කම්කරුවන් එක්ව හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන “පොන්නන් සංගර්” නාට්‍යය විදහා දක්වන බවත්, 2025 වසරේත් එම වතුයායේ සියලු වතු කම්කරුවන් එක්ව පෙරේදා (26) දින රාත්‍රියේ සිට අඩි 60ක් උස කොඩි කණුවක් සිටුවා තිබූ බවත් වාර්තා වෙයි. එම කොඩි කණුවේ මුදුනේ විශාල මල් රඳවා රැය පහන් වනතුරු නාට්‍යය විදහා දක්වා විශේෂ පූජාවන් ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව හිරු උදා වීමට ප්‍රථම එම නාට්‍යයේ ප්‍රධාන ශිල්පියා එම කණුවට නැඟිය යුතු බවත් සඳහන් වෙයි.
පසුව, කණුව මුදුනේ රඳවා ඇති මල්, පහළින් සිටින එම උත්සවයට සහභාගි වූ පිරිසට ඉසිනු ලබන අතර, මෙදින ද මරණයට පත් පුද්ගලයා කණුව මුදුනට නැඟ මල් ඉසින අවස්ථාවේ පය ලිස්සා පහළට වැටී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වී ඇති බව නානුඔය පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව පොලීසිය කියයි.
නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ