Home » සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන්

සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන්

by sachintha
April 28, 2025 1:17 am 0 comment

බුදුරජාණන් වහන්සේගේ සූ අසූදහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබුවා වූ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමේ සිරි දළදා වන්දනා වාරය සැදැහැවතුන්ගේ සාධු නද මධ්‍යයේ ඊයේ (27) පස්වරු 5.50ට පමණ සාර්ථකව අවසන් විය.

පසුගිය 18 වැනි දින සිරි දළදා වන්දනාව ආරම්භ වී ඊයේ (27) දිනෙන් අවසන් වූ දින 10දී ලක්ෂ 06කට ආසන්න පිරිසකට දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමේ අවස්ථාව ලැබී තිබේ.

අවසන් දිනයේ දී 74000 කට ආසන්න පිරිසකට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව හිමිවූ අතර මෙය දිනකදී වන්දනා කරන ලද වැඩිම ජන පිරිසයි. වෙනදාට වඩා අමතර විනාඩි 20ක කාලයක් දළදා වන්දනාව සඳහා මෙදින අවස්ථාව ලබාදී තිබීම ද විශේෂත්වයකි.

දෙස් – විදෙස් බෞද්ධ ජනතාවට සිරි දළදා වහන්සේ දැසීන් දැක බලා ගැනීමට මෙවර අවස්ථාව ලැබුණේ වසර 16කට පසුය.

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් ගණනය කිරීමේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් ශාඛාව සිදු කරනු ලැබුවේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුවය. ඔවුන් ඒ සඳහා කෘත්‍රිම බුද්ධියට අමතරව සාමාන්‍ය ගණනය කිරීමේ ක්‍රමවේදය ද උපයෝගි කරගෙන තිබිණි.

දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනක් ස්ථාපිත කර තිබූ අතර ඊට අමතරව විශේෂ පුද්ගලයින් වෙනුවෙන් හා ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් තවත් ප්‍රවේශ මාර්ගයක් පැවැතිණි.

එම පෝලිම ඔස්සේ පැමිණි පිරිස ද දළදා වහන්සේ වන්දනා කළ ලක්ෂ 06කට ආසන්න සැදැහැවතුන් සංඛ්‍යාවට අයත් ය. පවතින දත්ත විශ්ලේෂණය කිරීමේදී එම පෝලිම ඔස්සේ පැමිණි දෛනිකව 7000-1000 ත් අතර පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබෙන අනාවරණය වෙයි.

මහනුවර විෂ්ණු දේවාලය දෙසින් විශේෂිත පුද්ගලයින්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබාදෙමින් ක්‍රියාත්මක වූ පෝලිමට ඊයේ (27) දිනයේත් දස දහස් සංඛ්‍යාත පිරිසක් එක්කර තිබීම නිසා පෝලිම්වල දින ගණනක් රැඳී සිටි විශාල පිරිසකට දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ අවස්ථාව මඟ හැරුණු අතර ඔවුන් නගරයෙන් පිටව ගියේ කඳුළු සලමිනි.

දළදා වහන්සේ තැන්පත් කර තිබෙන වජ්‍රමය කරඬුව පිරිත් මණ්ඩපයේ සිට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ගන්ධ කුටිය වෙත වැඩම කරවීමෙන් පසු මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ලේන්සුවකින් දළදා වහන්සේ දෝතට ගෙන අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ට භාරදෙයි. අනතුරුව උන්වහන්සේ දළදා වහන්සේ හේමමාලා කරඬුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව සෙසු කරඬු වසා දැමීම සිදු කෙරෙයි.

මෙවර සිරි දළදා වන්දනාව සඳහා අනපේක්ෂිත ලෙස ලක්ෂ 10ක පමණ ජන පිරිසක් මහනුවරට පැමිණි අතර ඔවුන් වෙනුවෙන් යටිතල පහසුකම් සැපයීමේදී මතුවූ ගැටලු හේතුවෙන් පෝලිම්වලට එකතු නොවන ලෙස සැදැහැවතුන්ට දැනුම් දීමට පොලීසියට සිදුවූයේ ඉතිහාසයේ පළමුවරටය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT