Friday, May 2, 2025
Home » දේශබන්දු ගැන හොයන කමිටුවේ සහායට පොලිස් කණ්ඩායමක්

දේශබන්දු ගැන හොයන කමිටුවේ සහායට පොලිස් කණ්ඩායමක්

by sachintha
April 28, 2025 1:38 am 0 comment

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් ‍ෙකරුණු ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවට සහාය වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් සිවු දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ.

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මේ පිරිස මේ සඳහා අනුයුක්ත කර ඇත.

සහකාර පොලිස් අධිකාරීවරයාට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු මෙම පොලිස් කණ්ඩායමට ඇතුළත්ය.

අවශ්‍යතා මත ඉදිරියේදී මෙම පිරිස වැඩි කිරීමට අවශ්‍ය පියවර වැඩබලන පොලිස්පතිවරයා විසින් ගනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් කෙ‍ෙරන විමර්ශන සඳහා අවශ්‍ය සාක්ෂිකරුවන් කමිටුව හමුවට කැඳවා දීම, ඇතුළු විශාල වැඩ කොටසක් මෙම නිලධාරී කණ්ඩායමට පැවරෙන බවද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත කමිටුව අද (28) නැවත පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

පසුගිය 23 වෙනිදා පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්ව මූලික සාකච්ඡාවක ද නිරත වූ අතර පසුව ඉකුත් 25 වැනිදාද රැස් වී තිබේ.

එසේම කමිටුවට සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් නම් කර ඇත.

 

ගයාන් කුමාර වීරසිංහ, ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT