Home » කෝටි 1000ක කුඩු අද විනාශ කරයි

කෝටි 1000ක කුඩු අද විනාශ කරයි

by sachintha
April 28, 2025 12:40 am 0 comment

 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරනලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් කර ඇති රුපියල් කෝටි 1,000ක් පමණ වීථි වටිනාකමකින් යුක්ත හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක් අද (28) ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියමිතය. පුත්තලම පාලවියේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් අධි පීඩන උඳුනට දමා මෙම මත්කුඩු තොගය විනාශ කිරීමට නියමිතව තිබේ.

නඩු කටයුතු අවසන්වූ මත්කුඩු ටොන් 02කට අධික ප්‍රමාණයක් 2016 වසරේ සිට මේ දක්වා ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙරට ඉතිහාසයේ ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ පළමුවරට මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරනු ලැබුවේ 2018 වසරේ ජනවාරි 15 වෙනිදාය. ඒ කොකේන් කිලෝ 928යි ග්‍රෑම් 229කි. මෙම කෙකේන් තොගය අත්අඩංගුවට ගනු ලබන්නේ 2016 වසරේ දෙසැම්බර් 09 වෙනිදා කොළඹ වරායට පැමිණ තිබූ නෞකාවක තේක්ක කොට පැටවූ කන්ටේනරයක සඟවා තිබියදීය. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමඟ එක්ව කළ සෝදිසියකදී මෙම කොකේන් තොගය සොයා ගනු ලබන්නේ ඒ වන විට දකුණු ආසියාතික රටකින් සොයාගත් විශාලතම කොකේන් තොගය එය බවට ඉතිහාස ගත වෙමිනි. ඉක්වදෝරයේ සිට බෙල්ජියම හරහා මෙම නෞකාව යාත්‍රා කර තිබුණි. මෙම කොකේන් සඟවා තිබුණු තේක්ක කොට පැටවූ කන්ටේනරය ගොඩබෑමට නියමිතව තිබුණේ ඉන්දියාවේ වරායකටය.

සැකකරුවන් නොමැතිව අල්ලාගත් මෙම කොකේන් තොගය සම්බන්ධයෙන් වූ නඩු කටයුතු අවසන් වීමත් සමඟ එම කොකේන් තොගය ප්‍රසිද්ධියේ විනාශ කරන්නට යෙදුනේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද සහභාගිත්වය ඇතිව විශාල ප්‍රසිද්ධියක්ද ලබාදෙමිනි. එම කොකේන් තොගය විනාශ කරනු ලබන්නේ පුත්තලම පාලවියේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් උඳුනක දමාය.

අනතුරුව 2019 වසරේ අප්‍රේල් 01 වෙනිදා ද කොකේන් කිලෝ 765ක් ද එම උඳුනේම දමා පුළුස්සා විනාශ කරනු ලැබීය. එසේ විනාශ කරනු ලබන්නේ සීනි කන්ටේනර්වල සඟවා තිබියදී 2016 වසරේදී අවස්ථා කිහිපයකදී පොලීසිය විසින් සොයාගත් කොකොන්ය.

2023 වසරේ දෙසැම්බර් 14 වෙනිදා පුත්තලම පාලවියේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් උඳුනට දමා ගිනි තබා හෙරොයින් කිලෝ 107ක් විනාශ කිරීමට පොලීසිය පියවර ගත්තේය. එම හෙරොයින් තොගය මහ මුහුදේදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් 09 දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

මෑතකදී මත්කුඩු තොගයක් මේ ආකාරයට ප්‍රසිද්ධියේ විනාශ කරනු ලබන්නේ 2024 වසරේ මැයි 18 වෙනිදාය. හෙරොයින් කිලෝ 251ක් සහ අයිස් කිලෝ 38ක් එහිදී විනාශ කරනු ලබන්නේ පොලීසිය විසින් මිලියන 11ක් වැය කර ඉදිකළ අධිපීඩන උඳුනක දමාය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් අන්තවාදීන්ට අවි පුහුණුව ලබාදීමටත් ආයුධ සැඟවීමටත් යොදාගෙන තිබුණු වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ පර්චර්ස් 20ක බිම් කොටසක එම උඳුන පොලීසිය එකල ඉදිකර තිබුණි. ලැක්ටොස් වත්ත ඉඩම මේ වන විට ඇත්තේ රාජසන්තක කරය. එහි කොටසක පොලීසිය විශාල වියදමක් දරා මත්කුඩු පිලිස්සීමට ඉදිකළ උඳුන විවෘත කරමින් එදා මත්කුඩු තොගයක් විනාශ කරනු ලබන්නේ එවකට සිටි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙනි. නැවතත් 2024 වසරේ ජූනි මාසයේදී මෙම උඳුනේ දමා මත්කුඩු තොගයක් විනාශ කිරීමට සූදානමක් තිබුණ ද එහි නැවත මත්කුඩු පුලුස්සා විනාශ කිරීමක් ගැන පැහැදිලි තොරතුරක් නැත.

අද (28) ගිනි තබා විනාශ කිරීමට නියමිත මත්කුඩු කිලෝ 500කට ආසන්න ප්‍රමාණය ද විනාශ කෙරෙන්නේ පුත්තලම පාලවියේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් උඳුනේ දමා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙසේ විනාශ කරනු ලබන්නේ 2021 වසරේ දෙසැම්බර් 15 වෙනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව කළ මහ මුහුදේදී වැටලීමකදී බහුදින යාත්‍රාවක තිබී විදේශීය ජාතිකයන් 06 දෙනකු සමඟ අත්අඩංගුවට ගත් හෙ‍රොයින් කිලෝ 250යි ග්‍රෑම් 996ක්, 2022 වසරේ අප්‍රේල් 19 වෙනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව මහා මුහුදේදී කළ වැටලීමකදී විදේශිකයන් 07 දෙනකු සමඟ අත්අඩංගුවටගත් හෙ‍රොයින් කිලෝ 243යි ග්‍රෑම් 052 කි.

නඩු කටයුතු අවසන්ව ඇති එම මත්කුඩු තොගය අද උදෑසන 7.00ට පමණ කොළඹ මහාධිකරණයෙන් භාරගෙන විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ දහන උඳුන වෙත රැගෙන යාමට නියමිතය. අධිකරණයෙන් මෙම මත්කුඩු තොගය භාර ගන්නා අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, වැඩි බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන් සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල‍යේ නිලධාරීන් , රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ අධිකරණ කාර්ය මණ්ඩල නිලධාරීන් සහභාගිවීමට නියමිතය.

කොළඹ මහාධිකරණයෙන් ලබාගන්නා මත්කුඩු තොගය විනාශ කිරීමට සැලසුම් කර ඇත්තේ උදෑසන 10.00ට පමණය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT