Home » කිරිබත්ගොඩදී ආයතන හිමිකරුවකුට මහ මඟ පන්න පන්නා පහරදීලා

කිරිබත්ගොඩදී ආයතන හිමිකරුවකුට මහ මඟ පන්න පන්නා පහරදීලා

- සමාජ මාධ්‍ය වීඩියෝවෙන් සැකකරු අත්අඩංගුවට

by sachintha
April 28, 2025 12:44 am 0 comment

 

පෞද්ගලික ආයතනයක හිමිකරුවෙක් සිය ආයතනයේ සේවයේ නිරත තරුණියක් සමඟ ආයතනයේ කටයුත්තක් සඳහා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී තරුණියගේ පෙම්වතා යැයි සඳහන් පුද්ගලයෙක් ඇතුළු පිරිසක් කිරිබත්ගොඩදී ආයතන හිමිකරුට පෙරේදා (26) මහ මඟ පන්නමින් පහරදී තිබේ.

මේ පහරදීම සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළ පුද්ගලයෙක් විසින් එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබිණි. සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් අතර හුවමාරු වූ එම වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය විශේෂ අවධානයක් යොමු කරමින් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පහරදීමට සම්බන්ධ තරුණියගේ පෙම්වතා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලීසිය සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 22 හා 24 වයස්වල පසුවන මාකොළ හා කැලණියේ පදිංචිකරුවන්ය.

මේ පහරදීම සිදුව ඇත්තේ නුවර පාරේ කිරිබත්ගොඩ රාජ්‍ය බැංකුවක් අසලදීය. ආයතන හිමිකරු මේ තරුණිය සමඟ ගමන් කර ඇත්තේ කඩවත ප්‍රදේශයටය. එහිදී යතුරුපැදියකින් පැමිණි තරුණියගේ පෙම්වතා බව සඳහන් පුද්ගලයා මෝටර් රථය නතර කර ඇති බව සඳහන්ය. අනතුරුව ඔහු ආයතනයේ හිමිකරු සමඟ බහින්බස් වෙමින් පහරදී ඇති බව පොලිසිය කියයි. එහිදී ආයතනයේ හිමිකරු බේරීමට වාහන අතරින් දිව යන විට ඔහු පසුපස පන්නමින් පහරදී ඇති බවත් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුමකින් පවා පහරදී ඇති බවත් පොලීසිය සඳහන් කරයි. ඒ සියල්ල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී වීඩියෝ දර්ශනයේ ද ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT