Saturday, May 3, 2025
Home » අභියාචනාධිකරණය හමුවේ නඩු ගොනු කරන්නැයි මාතර මහේස්ත්‍රාත්ගෙන් නීතිපතිවරයාට නියෝග
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උසාවියට අපහාස කිරීම:

අභියාචනාධිකරණය හමුවේ නඩු ගොනු කරන්නැයි මාතර මහේස්ත්‍රාත්ගෙන් නීතිපතිවරයාට නියෝග

by sachintha
April 28, 2025 1:45 am 0 comment

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් කර ඇති බව අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු අනුව හැඟෙන බැවින් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු ගොනු කිරීමට කටයුතු කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නීතිපතිවරයාට ඉකුත්දා (25) නියෝග කළේය. මේ සැකකරු අධිකරණයට අපහාසයක් කර ඇති බවට කරුණු අනාවරණය වන නමුත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම අධිකරණයට බලයක් නැති බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය. මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ ඩබ්ලිව් 15 හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පිටව යන අවස්ථාවේ සැකකාර දේශබන්දු තෙන්නකොන් යන අය අධිකරණ ආඥා උල්ලංඝනය කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන කරුණු අනාවරණය වූ බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කර තිබිණි.

මේ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ ප්‍ර‍කාශ කර සිටියේය.

“ස්වාමීනි, මම මොහුට පසුගිය නඩු වාරයේ ඇප ලබා දෙන අවස්ථාවේදීම කිව්වා මේ සැකකරු මේ නඩුවේ ඉදිරි විමර්ශන විනාශ කරනවා කියලා. එදා ඇප හිමිවීමෙන් පසු මොහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මොහු වෙනුවෙන් ඉල්ලීම් දෙකක් කළා. එකක් ඇප කොන්දේසි සම්පූර්ණ කර අධිකරණ භුමියෙන් පිටව යනතුරු මොහුට විශේෂ ආරක්ෂාවක් සහ අධිකරණ භූමියෙන් පිටව යෑමට වාහනයක් ඇතුළත් කිරීමට අවසර ලබා දෙන එක. ඒ ඉල්ලීම් දෙකම ඔබතුමා ප්‍රතික්ෂේප කළා. ඔබතුමාගේ නියෝගය ලියපු පෑනේ තීන්ත වේළෙන්නත් කලින් නියෝග දෙකම උල්ලංඝනය කළා. ඒක ඒ මොහොතේම හැම මාධ්‍ය නාළිකාවකම වාර්තා කළා. ඔබතුමා ඇප නියෝග ප්‍රකාශ මොවුන් අධිකරණය පරිශ්‍රයේ හිටියා. දැන් ඔබතුමාගේ නියෝගය ඇහුන් නෑ කියනවා. ඇප ලැබුණු පුද්ගලයකුගේ හැසිරීමක් ද මේ. දවස් 22 ඇතුළේ හිටියත් තාම මොහු මොහුගේ බල පරාක්‍රමය බිඳිලා නෑ කියලා ලෝකෙට පෙන්වපු එකයි එදා කළේ.ස්වාමීනී! වෙන වෙන තැන්වල ජෝගි දැම්මට අධිකරණය නියෝග සමඟ සෙල්ලම් කරන්න දෙන්න බෑ. මේ වාහනය නවතලා තිබිලා තියෙන්නේ ඔබතුමන්ලාගේ නිල රථය නවත්තලා තියන නිල රථගාලේ. නීතිඥවරයෙක්වත් එම රථගාලේ වාහනය නවත්වන්නේ නෑ. කොහොමද ස්වාමීනී ඔබතුමන් මෝටර් රථය ඇතුළට ගැනීමට ප්‍රතික්ෂේප කර තිබියදී මේ ආකාරයෙන් සිදු කරන්නේ. මෙය බරපතළ තත්ත්වයක්.

මෙහෙම බැලුවොත් බෝම්බ සහිත කාර් එකක් එතැන නැවත්තුවත් එච්චරනේ. අපි විමර්ශනය කළා කවුද මෝටර් රථය ඇතුළට ගන්න අවසර ලබා දුන්නේ කියලා. ස්වාමීනී, නීතිඥවරයකු දේශබන්දු තෙන්නකොන්

මහතාගේ නඩුවට ආව නීතිඥවරයකුට ඇතුළට යාමට අවශ්‍යයි කියලා අවසර ඉල්ලලා තියෙනවා. එතකොට ගේට්ටුවේ හිටපු පොලිස් නිලධාරියා කියා තිබෙනවා ඒකට ඒස්පීගේ අවසරය අවශ්‍යයි කියලා. ඉන්පසු මෝටර් රථයේ සිටිය ගිහාන් කියලා පුද්ගලයෙක් මාතර සහකාර පොලිස් අධිකාරි විජේසේකරට කතා කර අවසර ලබාගෙන තිබෙනවා.”

මහේස්ත්‍රාත්වරයා – “සහකාර පොලිස් අධිකාරිවරයකුට අධිකරණ පරිශ්‍රයකට වාහනයක් ඇතුළු කිරීමට අවසර ලබාදීමට ඇති නෛතික බලය කුමක්ද? අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු මේ අධිකරණයේ ආරක්ෂාව දැඩි කළා. මොකද මේ අධිකරණයේ මටත් ඉහළින් ක්‍රියාත්මක වන්නේ මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝග. ඒක අතික්‍රමණය කිරීමට ඒඑස්පීට බලයක් ආවේ කොහොමද?”

අතිරේක සොලිසිටර් ජනාරාල් දිලීප පීරිස් මහතා – “ඒක තමා ස්වාමීනී මම කියන්නේ ඇප මත ඉන්න පුද්ගලයකුගේ හැසිරීමක් ද මේ? වරදකට ඇප හිමි වූ පසු සැකකරුවෙක් කොච්චර බයේ ද ඉන්නේ? සහකාර පොලිස් අධිකාරි මේ අධිකරණ පරිශ්‍රයේ සිටින පොලිස් නිලධාරීන් සියල්ල එකතු වෙලා සැලසුම්සහගතවයි මෙය කර ති‍ෙයන්නේ. මොහුගේ රංගන මායම්වලට අධිකරණය හෑල්ලු කරන්න දෙන්න බෑ ස්වාමීනී. අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම බැඳිලා තියෙන්නේ මටත් වඩා ඔබතුමන්ට. ඒ නිසා මොහුට ඇප ලබා දීලා තිබෙන නඩුවේ මොහුගේ ඇප නිශේධනය කරන්න. නැතිනම් අධිකරණය අපහාස කිරීම පනත යටතේ අධිකරණයට අපහාස කිරීමේ යටතේ වැඩිදුර විමර්ශනයට රක්ෂිත බන්ධනාගාරගත කරන්න මොහුව”

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා –

‘‘ස්වාමීනී! මේ චෝදනා මම දැනගත්තෙත් අද. ඔය කියන නියෝගය නිකුත් වෙද්දි මාගේ සේවාදායකයා සිටියේ බන්ධනාගාර නිලධාරීන් යටතේ. ඔහු වාහනයක් අධිකරණය පරිශ්‍රයට ගැනීම අවසරයක් නෑ කියලත් දැනුම්වත්ව ඉඳලා නෑ. ඒ වගේම ඔබතුමාගේ නියෝගය ඇහිලත් නෑ. ඇප ලබා පහළ මහලට එද්දී සුදු පාට කාර් එකක් නවත්තලා තිබිලා. ඔහු ඒකේ නැඟලා ගිහින්. ඒක ඔහු බලය අයුතු ලෙස භාවිත කිරීමක් නෙමේ. ඒක ඔහුගේ නොදැනුම්වත්භාවයෙන් සිදු වූවක්.”

මහේස්ත්‍රාත්වරයා – “කොහොමද ඇප ලබා දුන් පුද්ගලයා ඇප කොන්දේසි ඇහුණේ නෑ, දන්නේ නෑ කියලා කියන්නේ? ඔහු නැත්නම් කවුද ඒක දන්නේ? වාහනය ගත්තු එකම තමා මෙතැන ප්‍රශ්නේ. අධිකරණ පරිශ්‍රයේ සම්පූර්ණ ආකර්ෂක ක්‍රියාදාමය බිඳ දමලා.මේක සුළු දෙයක් නෙමේ. කවුරුහරි නීතීයට උඩින් අතපෙවීමක් කරලා. පේන විදිහට ඒක කරලා තියෙන්නේ සහකාර පොලිස් අධිකාරිවරයා”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව අභියචානාධිකරණය හමුවේ නඩු ගොනු කිරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කර නඩුව කල්තැබීය.

කල්පනී අබේසිංහ සහ මාතර සමූහ – ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT