Home » අපට ආණ්ඩුවේ මුදල් අවශ්‍ය නැහැ

අපට ආණ්ඩුවේ මුදල් අවශ්‍ය නැහැ

-එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක

by sachintha
April 28, 2025 1:11 am 0 comment

එක්සත් ජනරජ පෙරමුණ ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතන පාලනය කිරීමට ජාතික ජන බලවේගයේ මුදල් අවශ්‍ය නොවන බව එම පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ මහරගම නගර සභාවට ‘පැන්සල’ ලකුණින් ඉදිරිපත් වන අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“එම ආයතනවලට අවශ්‍ය ශක්තිය ලබාදීමට අපේ පක්ෂයේ වෘත්තීය දැනුමක් ඇති කණ්ඩායම් ස්වේච්ජාවෙන්ම ඉදිරිපත් වී සිටිනවා. මහරගම නගර සභාව නැවත ගොඩනැඟීමටත්, එය මහ නගර සභාවක් බවට පත් කිරීමටත් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. සෑම කොට්ඨාසයකටම ප්‍රජා සංවර්ධන කමිටු පිහිටුවා මහජන යෝජනා මත සංවර්ධන කටයුතු සිදු කරනවා.

මහරගම සිට කොටුව දක්වා විනාඩි 20කින් ළඟා විය හැකි කැලණිවැලි දුම්රිය මාර්ගයක් ඉහළින් ඉදිකිරීමටත්, නව නුගේගොඩක්, නව නාවින්නක් සහ නව මහරගමක් නිර්මාණය කිරීමටත් මා සැලසුම් කර තිබෙනවා. මහරගම මන්ත්‍රීවරුන් ලෙස දිවුලපිටියේ අය පත්වීම විහිළුවක්. ඒ සම්බන්ධයෙන් දැමූ නඩුවේ ප්‍රතිඵලය ඔවුන්ගේ ධුර කාලය අවසන් වූ පසුව ලැබුණා.

නාන ළිං හදන්න, බෝක්කු කටවල් මාරු කරන්න. පාරවල් කාපට් කරන්න ආදී සුළු වැඩවලට නගර සභා සීමා වී තිබෙනවා. මේ නගරය මහ නගරයක් කරන්න එක යෝජනාවක්වත් තියෙනවා ද? ඔවුන් ඉදිරිපත් කරන්නේ තවත් පුංචි නගරයක් සඳහා වන යෝජනා. පමුණුවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් හෝ මාකුඹුරේ සිට කොටුව දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම වැනි විශාල ව්‍යාපෘති ගැන කතා කරන්නේ නෑ.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT