මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු බීජ මිල ඉහළ යෑම නිසා ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ඒ අනුව, පසුගිය වසරවල රුපියල් 20,000ත් 25,000ත් අතර තිබූ ලොකු ලූනු බීජ කිලෝව මෙවර රුපියල් 40,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔවුහු පවසති. පසුගිය කාලයේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් බීජ නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් නිෂ්පාදන මිල ඉහළ යෑම ඊට හේතු ලෙස දැක්විය හැකි බව දඹුල්ල මූලස්ථාන කෘෂිකර්ම උපදේශක ඒ.එම්. සුනිල් බණ්ඩාර මහතා පැවැසීය. ඊට අමතරව ලූනු බීජ පරාගණය කිරීමට නොහැකි වීම, උෂ්ණත්වය අඩු වීම, කෘමීන්ගෙන් ලූනු මල් පරාගණය නොවීම ආදිය ඊට හේතු ලෙස දැක්විය හැකිය. මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ ලූනු බල්බ කිලෝ 40,000ක් වසන්තීකරණය කර සිටුවා ඇත. පෙර වර්ෂවලදී ලූනු බල්බ කිලෝ 10කට බීජ කිලෝ 1ක් ලබා ගත්තත් ඉහත කී හේතූන් මත මේ වසරේ යල කන්නයේ ලූනු බල්බ කිලෝ 15කට බීජ කිලෝ 1ක් පමණක් ලබා ගැනීමට හැකිව ඇති බව කෘෂි නිලධාරීහු පවසති. මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු වගා කිරීමට බීජ කිලෝ 10,000ක් පමණ අවශ්‍ය වී ඇතත් නිෂ්පාදනය කිරීමට හැකිව ඇත්තේ බීජ කිලෝ 2,500ක් පමණ බව කෘෂි නිලධාරීහු පවසති.
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලූනු බීජ ගුණාත්මක අතින් ඉහළ බැවින් ගොවීහු එම බීජ වගා කිරීමට වැඩි කැමැත්තක් දක්වති. ඔවුන් පෙන්වා දෙන්නේ, ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි තත්ත්වයක් තුළ ලූනු බීජ ආනයනය කිරීමට සිදු විය හැකි බවයි. කෙසේ වෙතත් ලූනු බීජ නිෂ්පාදනය කරන ගොවියා ආරක්ෂා කර ගැනීමට හා දේශීය ලොකු ලූනු වගාව ප්‍රවර්ධනය කිරීමට නවීන තාක්ෂණ ක්‍රම උපයෝගී කර ගැනීම කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය වහා යොමු විය යුතුව ඇත.
ගලේවෙල මධ්‍යම සමූහ