Home » ජපන් වෛද්‍යවරුන්ගෙන් පොලොන්නරුවේදී ළමා දන්ත සායනයක්

ජපන් වෛද්‍යවරුන්ගෙන් පොලොන්නරුවේදී ළමා දන්ත සායනයක්

by sachintha
April 28, 2025 1:58 am 0 comment

ජපානයේ හොකයිදෝ විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක සහයෝගිතා වැඩසටහන යටතේ එරට වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් තුනක දරුවන් සඳහා ඒ ඒ පාසල්වලදී මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දන්ත වෛද්‍ය ප්‍රසංග රත්නායක මහතා ප්‍රමුඛ දන්ත චිකිත්සක අංශයේ සංවිධානත්වයෙන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එම වැඩසටහන සඳහා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඟුරක්දමන මහා විද්‍යාලය ද නම් කර තිබූ අතර, විදුහලේ හය හත ශ්‍රේණිවල දරුවන්ට මුඛ සෞඛ්‍ය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීමට කටයුතු කර ඇත.

මෙහිදී වැඩසටහනට සම්බන්ධ වූ සිසුන් අතර මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුම මිනුම තරගයක් ද පැවැත්විණි. එම තරගයෙන් ජයගත් අයට පදක්කම් පැලඳවීම හා තිළිණ ප්‍රදානය විදුහල්පති ඊශාන් සෙනෙවිරත්න මහතාගේ අතින් සිදු විය. මෙහිදී ප්‍රතිකාර කළ යුතු තත්ත්වයේ සිටි දරුවන්ට ජංගම දන්ත ප්‍රතිකාර රථය තුළදී ප්‍රතිකාර ලබාදීම ද සිදු විය. එමෙන්ම ඉලක්ක කණ්ඩායම්වලට අමතරව එම පාසලේ සියලුම දරුවන්ට දත් බෙහෙත්, දත් බුරුසු සහ පෝෂ්‍යදායි ආහාර පැකට්ටුව බැගින් ලබාදීමට ද කටයුතු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා ජපානයේ හොකයිදෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමසකි කද්සු මහතා ප්‍රමුඛව මුඛ සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් හා දන්ත වෛද්‍යවරියක් සමඟ දන්ත චිකිත්සකවරියක් ඇතුළු හතර දෙනකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් පැමිණ තිබිණි.

ඊට අමතරව ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය එම්.එච්. අබුසයි මහතා, පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරි කාර්යාලයේ දන්ත චිකිත්සක අංශයේ දන්ත වෛද්‍ය ප්‍රසංග රත්නායක මහතා ප්‍රමුඛ දන්ත චිකිත්සකවරියන් පිරිසක් ද වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා එක්ව සිටියහ.

ලංකාපුර සමූහ එව්.එල්. ද සොයිසා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT